තණ්හාවෙන් මත්වෙන්න එපා - පාප් වහන්සේ

Image copyright EPA

වස්තුව රැස්කිරීම පිණිස 'තන්හාවෙන් මත්වී' කටයුතු නොකරන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා වෙසෙන කෝටි එකසිය විස්සක් වන කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.

'පාරිභෝගිකවාදයෙන්, සුඛපරමවාදයෙන්, ධනයෙන් සහ සුඛෝපභෝගීභාවයෙන්' මන්මත්ව සිටින ලෝකය දැනට වඩා සන්සුන් විය යුතු බව පාප් වහන්සේ සඳහන් කළේ නත්තල් දින උදාවේ රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති දේව මෙහෙය අමතමින්.

ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් දේව මෙහෙයට එක් වී සිටියහ.

Image copyright EPA

නත්තල යනු 'යළිත් වතාවක් අප කවුරුන්දැයි හඳුනාගැනීමේ මොහොත' බවද උන් වහන්සේ පැවසූහ.

තෙවසරක් පිරෙන සිය පදවියේ ප්‍රධාන අවධානය යොමු වූ අංශ වන අනුකම්පාව, දයාව, යුක්තිය සහ සහකම්පනය යන කරුණු කෙරෙහි දේව මෙහෙයේදී එහිමියන් අවධානය යොමු කළ බවයි වාර්තාකරුවන් පවසන්නේ.

මේ සතිය මුලදී උණ රෝගයෙන් පෙළුණු එහිමියන්ගේ කටහඬ වරෙක බිඳී ගියේ පාප් වහන්සේ තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බව විදහා පාමින්.

Image copyright EPA

දේව මෙහෙය වෙනුවෙන් වතිකානය පුරා ආරක්ෂාව තරකර තිබිණි. ශාන්ත පීතර බැසිලිකාවට ඇතුළු වූ සියලු බැතිමතුන් දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු අතර, පොලිසියද තැනින් තැන බැතිමතුන් ක්ෂණික පරීක්ෂාවට ලක් කළේය.

සිකුරාදා දහවල් ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිය නත්තල් පණිවුඩය ප්‍රකාශයට පත් කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ලෝක සාමය වෙනුවෙන් යාඥා කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර