ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රමාඩි මධ්‍යම කලාපයේ 'පාලනය' ඉරාක හමුදා අතට

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් යටත් කර ගෙන සිටි රමාඩි නගරයේ මධ්‍යම කලාපයේ සම්පූර්ණ පාලනය හමුදාව අතට පත් වී ඇති බව ඉරාක බලධාරීහු පවසති.

අයිඑස් කැරලිකරුවන් විසින් අල්ලා ගෙන සිටි ආණ්ඩුවේ පරිපාලන සංකීර්ණයක් නැවත හමුදා අතට පත් වී ඇති බවයි ඉරාක ආරක්ෂක හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

පරිපාලන සංකීර්ණයේ සිටි කැරලිකරුවන් ඉන් පළා ගොස් ඇති අතර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට සිය හමුදා කටයුතු කරමින් සිටින බව ඉරාක බලධාරීහු කියා සිටියහ.

කෙසේ වෙතත් නගරයේ ඇතැම් ස්ථාන තුළ කොටු වී සිටින අයිඑස් කැරලිකරුවන් ආණ්ඩුවේ හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බවයි රාමාඩි දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේ

ඉරාක හමුදා පැහැදිලි ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව පැවැසූ ඉහත කී ප්‍රකාශකයා ආණ්ඩුවේ හමුදා විසින් අයිඑස් කැරලිකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කළේය.

බැග්ඩෑඩ් අගනුවර සිට සැතපුම් 55ක් දුරින් පිහිටි රාමාඩි නගරය ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අතට පත් වූයේ මේ වසරේ මැයි මාසයේදීයි.

සුන්නි ඉස්ලාමීය බැතිමතුන් වැඩි වශයෙන් වෙසෙන රාමාඩි නගරයේ බලය යළි ලබා ගැනීමේ උත්සාහයේ යෙදී සිටි ආණ්ඩුවේ හමුදාවලට ඒකාබද්ධ හමුදා ගුවනින් සහාය දැක්වීය.