ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ට නඩු පවරයි

Image copyright AFP

මෙහෙකාර දැරියකට පහරදී අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව එරට පොලිසිය නඩු පවරා තිබේ.

දැනට ඇප පිට නිදහස්ව සිටින එම යුවළට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් දීර්ඝ කාලීන සිර දඬුවමකට යටත් වීමට සිදු වනු ඇත.

වධ හිංසාවන්ට ලක් වූ බව පැවසෙන ඉහත කී මෙහෙකාර දැරියගේ වයස අවුරුදු එකොළහකි.

බාල වයස්කාර දැරියක මෙහෙකාර කමට ගැනීම සහ වධ හිංසා කිරීම යන චෝදනා ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් සහ ඔහුගේ බිරිඳ ප්‍රතික්‍ෂේප කරති.

මේ පිළිබඳව නඩු විභාගය ජනවාරි දොළොස් වැනිදා ආරම්භ වීමට නියමිතයි.

බිඳුණු පාදයක් ඇතිව තුවාල ලබා සිටි දැරිය මහ මඟ සිටියදී හමු වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ මසක පමණ කාලයක් පොලිසිය මඟ හරිමින් අතුරුදහන් වී සිටියහ.

මෙම සිදුවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ට තරඟ තහනමක් පැනවීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.

ශදාත් හොසේන්ගේ බිරිඳ අත්අඩංගුවට පත් වූ අතර, ඉන් පසුව ශදාත් හොසේන් පොලිසියට භාර විය.