වීදියේ දරුවන්ගෙන් පුවත්පතක්

දිල්ලි නුවර වීදි දරුවන් කිහිප දෙනෙකුට කාර්ය බහුල දිනයක්. ඔවුන් ගේ සුදානම කාර්තෘ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට.

මේ වීදි දරුවන් සාකච්ඡා කරන්නේ ඔවුන් ගේ පුවත් පතේ මීළඟ කලාපයේ අන්තර්ගතය ගැන.

වීදියේ වසන දරුවන්ගේ තොරතුරු ලොවට කියා පෑම සඳහා පළ වන මේ පුවත් පත නම් කර ඇත්තේ ළමා හඬ යන අරුත් දෙන ‘බාලක්නාමා’ නමින්.

‘වීදි දරුවන් සහ ළමා කම්කරුවන් වෙනුවෙන් වීදි දරුවන් ගෙන එන ලොව අද්විතීය පුවත් පත’ ලෙසයි ඔවුන් මේ පුවත්පත ආඩම්බරයෙන් හඳුන්වන්නේ.

මේ වීදි දරුවන්ගේ ‘බාලක්නාමා’ පුවත් පතේ කලාප පන්දහස් පන්සීයක් පමණ බෙදා හැරෙන බවයි ප්‍රධාන කාර්තෘ චාද්නි පවසන්නේ. දහ අට හැවිරිදි ඇය දිල්ලියේ වීදි දැරියක්.

‘මට හරිම ආඩම්බරයි මේ පුවත් පත සංස්කරණය කරන්න ලැබීම ගැන. මේ වගේ පුවත් පතක් ඉන්දියාවේ තවත් නැහැ. තමන්ගේ ළමා විය සොරා ගැනීමට ලක් වුනු අය, කුස ගින්නේ වීදියේ සිටි අය, ළමා වියේ දී වීදියේ හිඟා කෑ උදවිය, අතවරයන්ට ලක් වුනු සහ ළමා වියේදී කම්කරුවන් බවට පත් වුනු අය මේ පුවත්පතට ලියනවා. ඔවුන් ලියන්නේ ඔවුන් එදා විඳි වේදනාව අද විඳින දරුවන් ගැන.’ චාද්නි පැවසුවාය.

චාද්නි ගේ ළමා වියත් අන්ත දරිද්‍රතාවයෙන් පෙළුණු එකක්. සිය පියා සමඟ වීදියේ රඟන්නට සිදු වුනේ එදා වේල සරි කර ගැනීමට.

‘බාලක්නාමා’ පුවත් පතට අසල්වාසී ප්‍රාන්තවලින් එක් වී සිටින වාර්තාකරුවන් සියලු දෙනා වීදියේ ජීවත් වූ අය. නැතිනම් ළමා කම්කරුවන් ලෙස දිවි ගෙවූ අය.

මෙය මිල කර ඇත්තේ ඉන්දියානු රුපියල් දෙකකට. රජයෙන් කිසිදු සහයෝගයක් නොලද මේ වීදි දරුවන්ගේ පත්තරේට මුදලින් යම් අධාරයක් ලැබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයකින් පමණයි.

ඇස්තමේන්තුවකට අනුව ඉන්දියාව පුරා වීදියේ ජීවත්වන සහ කම්කරු වැඩට යොදවා ඇති දරුවන්ගේ ගණන කෝටියකට අධිකයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර