ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේවකාරිය අහිමි 'පාවෙන' පියනම

මේ නත්තල් දේව මෙහෙයක්. පැවැත්වුණේ පිලිපීනයේ.

අල්තාරය අබියසට පැමිණ දේව මෙහෙය පැවැත්වූ පියතුමා අනතුරුව බැතිමතුන් ඉදිරියට ගියේ රෝද සවි කළ පුවරුවක නැගී රිද්මයකට පාවී යමින්.

නත්තල් ගීය ගායනා කරමින් රෝද සවි කළ පුවරුවක් මත සිටි පියතුමාට එහි සිටි බැතිමතුන්ගෙන් ලැබී ඇත්තේ උණුසුම් ප්‍රතිචාරයක්.

'හොවර් බෝඩ්' ලෙස හඳුන්වන විදුලි බලයෙන් ධාවනය වන රෝද සවි කළ පුවරුවක් මත නැගී අල්තාරය අවට ගමන් ගනිමින් පියතුමෙකු නත්තල් ගීයක් ගයන අයුරු දැක්වෙන වීඩියෝව සමාජ ජාල තුළ ඉතා ජනප්‍රිය වී තිබේ.

කෙසේ නමුත් පියතුමා කටයුතු කළ ආකාරය අනුචිත බවයි දියෝකීසිය පවසන්නේ.

එම පියතුමා ආගමික කටයුතුවලින් ඉවත් කිරීමටත් දියෝකීසිය කටයුතු කොට ඇත.

දේවකාරිය

පියතුමා දේව මෙහෙය පැවැත්වූ ආකාරය හෙලා දකින බව ශාන්ත පැබ්ලෝ දියෝකීසිය නිකත් කළ නිවේදනයක සඳහන්.

දේව මෙහෙය අතරතුර ක්‍රියා කළ ආකාරයේ ප්‍රතිඵලයක් වශයෙන් පියතුමාට සිය දේවකාරියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවයි ශාන්ත පැබ්ලෝ දියෝකීසිය ප්‍රකාශ කළේ.

පිලිපීනය, කතෝලික භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් අතුරින් එකක්.

මේ අතර නත්තල් දේව මෙහෙය අතරතුර පියතුමා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

පියතුමා කටයුතු කළ ආකාරය හෙලා දකිමින් ඇතැමෙක් එම ක්‍රියාව හඳුන්වා තිබුණේ එය දෙවියන්ට පමණක් නොව බැතිමතුන්ටද කළ අගෞරවයක් ලෙසයි.

දේවස්ථානය තුළ ශුද්ධ දේව මෙහෙය පැවැත්වෙන අතරතුර මෙවැනි ක්‍රියාවක යෙදීම විසුළු සහගත බව තවත් පිලිපීන කිතුනු භක්තිකයෙක් සඳහන් කොට තිබේ.

'විනෝදකාමී'

පියතුමාගේ ක්‍රියාවට සහාය පළ කරන කණ්ඩායම් පවසන්නේ එය විනෝදකාමී ක්‍රියාවක් බවයි.

'මම රෝමානු කතෝලික භක්තිකයෙක් වුනත් මම නිතර පල්ලියට යන්නේ නැහැ. මෙවනි පූජකවරුන් තව සිටී නම් නිතරම දේව මෙහෙයට සහභාගී වෙන්න මාව පෙලඹෙන්න පුළුවන්' කැනේඩියානු ජාතිකයකු සමාජ මාධ්‍ය තුළ සිය අදහස් පළ කොට තිබුණේ එලෙසින්.

කතෝලික පල්ලිය නව යුගයකට පා තබන ආකාරය ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි ඇතමෙක් මෙම ක්‍රියාව හඳුන්වා තිබුණේ.

පිලිපීනයේ ජනගහනයෙන්කෝටි අසූවක් කතෝලික බැතිමතුන්.

එය සමස්ත ජනගහනයෙන් ප්‍රතිශතයක් වශයෙන් සියයට අසූ එකක්.

පිලිපීනයේ නීති පද්ධති බොහෝ විට සකස් වී තිබෙන්නේද කතෝලික වටිනාකම් මතයි.