මියන්මාරය: නව පාර්ලිමේන්තුව පෙබරවාරි පළවෙනිදා

Image copyright Reuters
Image caption මියන්මාර් ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචි හට ජනාධිපති ධුරයට පත් වීමට ඉඩ නොමැත.

මියන්මාර් මහමැතිවරණය පැවැත්වීමෙන් මාස දෙකකට පසු නව පාර්ලිමේන්තුව රැස් වන දිනය ප්‍රකාශයට පත් කොට තිබේ.

නව පාර්ලිමේන්තුව, සිය කටයුතු පෙබරවාරි පළමුවෙනිදා සිට ආරම්භ කරන බව පදවියෙන් ඉවත්ව යන කථානායකවරයා ප්‍රකාශ කළේය.

විරුද්ධ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගෙන ඇති නිසා නව පාර්ලිමේන්තුව පැවති පාර්ලිමේන්තුවට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.

එහෙත් නව ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව තවමත් ඇත්තේ අපැහැදිලි තත්වයක්.

මියන්මාර් ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචි හට ජනාධිපති ධුරයට පත් වීමට ඉඩ නොමැත.

තම පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය මියන්මාරයේ ජනාධිපති පදවියට පත් කිරීම එරට ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ.

විපක්ෂ නායිකා අවුන් සාන් සුචීගේ සැමියා සහ පුතුන් බ්‍රිතාන්‍ය පුරවැසියෝ වෙති.