තමිල්නාඩුවේ ගොන් පොර සැණකෙළියට යළි අවසර

Image copyright J Suresh
Image caption ගොනු අඟෙහි ගැට ගැසූ තෑගී ගලවා ගැනීමේ උත්සාහයක්

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තහනම් කර තිබුණ ගොන්පොර යළි ආරම්භ කිරීමට ඉන්දීය මාධ්‍ය ආණ්ඩුවෙන් අවසර ලැබුණි.

සියවස් ගණනාවක් තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් අතර ඉතා ජනප්‍රිය විනෝදශීලී සම්ප්‍රදායක් වී තිබුණ ගොන් පොර පැවැත්වීම පසුගිය වසරේ පටන් තහනම් කරනු ලැබ තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුවයි.

තමිල්නාඩු වැසියන් එම ගොන්පොර සංදර්ශන හඳුන්වන්නේ ‘ජල්ලිකට්ටු’ යන වචනයෙනි.

Image caption සිනමා නළු කමලාසන් ගොන්පොර නරඹන අවස්ථාවක්.

තමිල්නාඩුවේ එම උත්සව ආරම්භ වෙන්නේ ජනවාරි මාසයේ සරු අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුවයි.

'ජල්ලිකට්ටු'

ගොන් පොර සිදු වෙද්දී ඊට සහභාගී වෙන පුරුෂයන් දුවන ගොනුන්ගේ උල් අඟෙහි ගැට ගසා ඇති තෑගි ගලවා ගැනීමට කරන උත්සාහය ‘ජල්ලිකට්ටු’ උත්සවයේ අලංකාර දර්ශනයකි.

එම උත්සවයේ දී ගොනුන් මැරීමක් සිදු නො කෙරෙයි.

Image copyright BBC World Service

එහෙත් විවේචකයන් කියා සිටින්නේ,කුලප්පු කිරීම සඳහා ගොනුන්ට බලහත්කාරයෙන් මත්පැන් පෙවීම සහ ඇස්වල මිරිස් ගෑම වැනි ඉතාම කෲර ක්‍රියා සිදු කෙරෙන බවයි.

ගොනුන්ගේ ශුභ සාධනය වෙනුවෙන් අනුගමනය කළ යුතු නව දැඩි විධි විධාන හඳුන්වා දී ඇතැයි පවසන සංවිධායකයෝ එම සතුන්ට නරක ආකාරයට සලකනු ලැබීම වැළැක්වීම සඳහා ආරක්ෂකයන් යොදවන බවත් කියා සිටිති.