ජල්ලිකට්ටු: ගොන්පොර නිදහස අභියෝගයට

තමිල්නාඩු ප්‍රාන්තයේ තහනම් කර තිබුණු ගොන් පොර යළි ආරම්භ කිරීමට ඉඩ දීම අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම විභාග කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ක්‍රියාධරයන් කියා සිටින්නේ,කුලප්පු කිරීම සඳහා ගවයන්ට බලහත්කාරයෙන් මත්පැන් පෙවීම සහ ඇස්වල මිරිස් ගෑම වැනි ඉතාම කෲර ක්‍රියා සිදු කෙරෙන බවයි.

සියවස් ගණනාවක් තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් අතර ඉතා ජනප්‍රිය විනෝදශීලී සම්ප්‍රදායක් වී තිබුණ ගොන් පොර පැවැත්වීම පසුගිය වසරේ පටන් තහනම් කරනු ලැබ තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුවයි.

තමිල්නාඩු වැසියන් එම ගොන්පොර සංදර්ශන හඳුන්වන්නේ ‘ජල්ලිකට්ටු’ යන වචනයෙනි.

තමිල්නාඩුවේ එම උත්සව ආරම්භ වෙන්නේ ජනවාරි මාසයේ සරු අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුවයි.ගොන් පොර සිදු වෙද්දී ඊට සහභාගී වෙන පුරුෂයන් දුවන ගොනුන්ගේ උල් අඟෙහි ගැට ගසා ඇති තෑගි ගලවා ගැනීමට කරන උත්සාහය ‘ජල්ලිකට්ටු’ උත්සවයේ අලංකාර දර්ශනයකි.

එම උත්සවයේ දී ගොනුන් මැරීමක් සිදු නො කෙරෙයි.

ගොනුන්ගේ ශුභ සාධනය වෙනුවෙන් අනුගමනය කළ යුතු නව දැඩි විධි විධාන හඳුන්වා දී ඇතැයි පවසන සංවිධායකයෝ එම සතුන්ට නරක ආකාරයට සලකනු ලැබීම වැළැක්වීම සඳහා ආරක්ෂකයන් යොදවන බවත් කියා සිටිති.