ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපති ඔබාමා අවසන් නිල දෙසුම පවත්වයි

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය පාලන උරුමය දැඩිව යුක්ති සහගත කරමින් අනාගතයේ සිය රට ලෝකය තුල හිමි කර ගනු ලබන ස්ථානය ශුභවාදීව තක්සේරු කරයි.

ඔබාමා එම ප්‍රකාශය කලේ රටේ ජනාධිපතිවරයා හැටියට ජාතිය අමතා පවත්වන අන්තිම රාජ්‍ය දේශනයේ දී.

පරම්පරා කීපයක් මුහුණ දී සිටි ඉතා දරුණු ආර්ථික අර්බුදයකින් එක්සත් ජනපදය ගොඩ ආ බව සඳහන් කල ජනාධිපති ඔබාමා වෙනස් කම් දිගටම පෙරට ගෙන ගියොත් වඩාත් සෞභාග්‍ය සම්පන්න තත්වයක් උදා කර ගත හැකි බවයි එම දෙසුමේ දී කියා සිටියේ.

Image copyright Getty

ඇමරිකාවේ අනාගතය දෙස ශුභවාදී බැල්මක් හෙළමින් අදහස් දැක් වූ ඔහු වර්තමාන ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන් වල දී අසන්නට ලැබෙන ඍණාත්මක මතවාදයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ ලෝකය තුළ ඇමරිකාව තවමත් වඩාත්ම ශක්තිමත් සහ කල් පවත්නා ආර්ථික ශක්තියකින් යුතු රට බවයි.

දුර අනාගතයක් සඳහා

යමෙක් එය එසේ නොවන බව පවසන්නේ නම් එය හුදු ප්‍රබන්ධයක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විශාල අත් පොළසන් හඬ මැදයි.

ලබන වසර ගැන පමණක් කතා කිරීමෙන් සෑහීමකට පත් විය නොහැකි බව පැවසූ ජනාධිපති ඔබාමා 'තමා අවධානය යොමු කරන්නේ මීළඟ පස් අවුරුද්ද, මී ළඟ දශකය සහ ඉන් ඔබ්බට ඇමරිකාවේ අනාගතය දෙස' බවයි අවධාරණය කළේ.

කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබීම ගැන කරුණු දැක්වූ ජනාධිපති ඔබාමා 'වසර පනහක කාලයක් කියුබාව හුදෙකලා කර තැබීම මගින් බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවූ' බවයි පෙන්වා දුන්නේ.

Image copyright Reuters

ග්වොන්තනාමෝ සිර කඳවුර වසා දැමීම, අපරාධ නීතිය ප්‍රතිසංවිධානය කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ IS ත්‍රස්තවාදයට එරෙහිව හමුදාවන් යෙදවීම වැනි කරුණු ඉදිරි වසර සඳහා වූ තම න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබෙන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

නව කියුබන් පිළිවෙත

ජාතිය ඇමතීමේ නිල අවසන් දෙසුමේ දී ප්‍රතිවාදී දේශපාලනඥයන් ගේ ඇතැම් ප්‍රකාශ පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වීමටත් ඔබාමා අමතක නොකළේය.

Image copyright AP

මුස්ලිම්වරුන් ඇමරිකාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කල යුතු බවට රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ජනාධිපති ඔබාමා කියා සිටියේ එවැනි පියවරක් රටේ ආරක්ෂාවට හේතුවක් නොවන බවයි.

'එය වැරදියි. එමගින් ලෝකයා ගේ දෑස් හමුවේ අපි හෑල්ලුවට ලක් වෙනව. එමගින් අපේ ඉලක්ක කරා යාම දුෂ්කර වෙනව.එවැනි පියවරක් ගැනීම රටක් හැටියට අපව රවටා ගැනීමක්' ජනාධිපති ඔබාමා පවසයි.