ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇලන් රික්මන් දිවි සිනමාවෙන් සමු ගනියි

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

හැරී පොටර් (Harry Potter) වෘත්තාන්තය තුළ කැපී පෙනුණු එක් චරිතයක් වුයේ මහාචාර්ය ස්නේප් ගේ චරිතය. එම චරිතය ට පනපෙවු ඒ අසහාය රංගධරයා ජීවිතයෙන් සමුගත් පුවත ලොව පුරා සිටින ලොකු කුඩා සිනමා ලෝලීන්ගේ අතිශය දොම්නසට හේතු වී තිබේ.

වයස අවුරුදු හැට නමයක් ව සිටි ඇලන් රික්මන් (Alan Rickman) නම් ඒ අද්විතීය සිනමා නළුවා සිනමා ලෝලීන් ට සමු දුන්නේ පිළිකාවක් හේතුවෙන්.

දුෂ්ඨයාගේ චරිතය

ඔහු ජන හද බැඳ ගත්තේ “හැරී පොටර්” චිත්‍රපටයේ මහාචාර්යවරයාගේ චරිතයෙන් පමණක් නොවේ.

හොලිවුඩ් සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ “ඩයි හාර්ඩ්”(Die Hard) ඇතුළු සිනමා පට ගණනාවක දුෂ්ඨයාගේ චරිතයට පණ පොවමින් තමන් ට ම ආවේණික වූ රංග ශෛලියක් ලෝක සිනමා ව ට දායාද කළේය.

ලන්ඩනයේ ඉපදුණු ඇලන් රික්මන් Emmy, Golden globe, සහ BAFTA ඇතුළු ලෝක පුජිත සම්මාන 16 ක් ලබාගත් නිරූපණ ශිල්පියෙකි.

1991 දී “රොබින්හුඩ්” (Robin Hood: Prince of Thieves) හි ෂෙරිෆ් ගේ චරිතය සාර්ථකව නිරූපනය කිරීම වෙනුවෙන් බැෆ්ටා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

Image caption රික්මන් හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ස්නේප් ලෙස

හොඳම නළුවා

හොඳම නළුවා සඳහා වූ “ගෝල්ඩන් ග්ලෝබ්” (Goldon Globe) සම්මානය ලබා ගැනීමට ඔහු සමත් වූයේ රුපවාහිනී චිත්‍රපට මාලාවක් වූ “රස්පුටින්-ඩාර්ක් සර්වන්ට් ඔෆ් ඩේස්ටිනි” හි ඔහු නිරුපනය කළ චරිතය වෙනුවෙනි.

රික්මන් ගේ රංග කුසලතාව දුෂ්ඨ චරිත සඳහා පමණක් සීමා වුවක් නොවේ.

2003 දී ජනප්‍රියත්වයට පත් වූ හාස්‍යෝත්පාදක ප්‍රේම චිත්‍රපටයක් වූ “ලව් ඇක්චුවලි” (Love Actually) සහ 1999 දී තිරගතවුණු විද්‍යා ප්‍රබන්ධ කතාවක් වූ ‘ගැලැක්සි ක්වෙස්ට්’(Galaxy Quest) මෙන්ම ‘ඇලිස් ඇන්ඩ් වොන්ඩර්ලෑන්ඩ්’(Alice & Wonderland) වැනි සිනමා නිර්මාණ වල දී එකිනෙකට වෙනස් විවිධාකාරයේ චරිත නිරූපනය කෙරෙහි ඔහු සතුව තිබූ රංග කුසලතාව මැනවින් ප්‍රකට විය.

Image caption 'ඩයි හාර්ඩ්' චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පන දෙමින්

අධ්‍යක්ෂකවරයකු ලෙස

රංගනයෙන් ඔබ්බට සිනමා අධ්‍යක්ෂණය කෙරෙහි ද ඔහු යොමු වී සිටියේය.

1997 දී ‘තොම්සන් ඇන්ඩ් හර් මදර්’ (Thompson and her mother) නමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනුයි ඔහු අධ්‍යක්ෂණයට පිවිසියේ.

මීට අමතරව වසර දෙකකට පමණ පෙර ‘ටයිටැනික්’(Titanic) චිත්‍රපටයෙන් ජනාදරයට පත් කේට් වින්ස්ලට් නම් ජනප්‍රිය නිළිය සමග රික්මන් චරිත වලට පණ පෙවු ‘අ ලිට්ල් කෙයෝස්’ (A Little Chaos) චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම දක්වා චිත්‍රපට ගණනාවක් ම ඔහු අධ්‍යක්ෂණය කළේය.

එත් චරිත නිරූපනය පිලිබඳ රික්මන් ගේ කුසලතාවන් සිනමාවට හෝ රුපවාහිනියට පමණක් සීමා වී නැත.

Image caption රොබින්හුඩ් හි ෂෙරිෆ් ලෙස

වේදිකා රංගනය

රාජකීය ශේක්ස්පියර් (Royal Shakespeare) නාට්‍ය සමාගමේ සාමාජිකයෙක් වූ ඔහු ලන්ඩනයේ සහ නිව්යෝර්ක් නගරයේ වේදිකා නාට්‍යවල රඟපෑම නොකඩවා කළ අග්‍රගණ්‍ය වේදිකා නළුවෙකි.

බටහිර ලන්ඩනයේ ඇක්ටන් (Akton) හි උපත ලැබූ රික්මන් දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවායි.

ඔහුගේ මව ඩොරීන් රෝස් සාමාන්‍ය ගෘහනියක් වූ අතර පියා බර්නාඩ් රික්මන් රැකියාව ලෙස කර තිබුණේ ගෙවල් පින්තාරු කිරීමයි.

රික්මන් ගේ පියා රික්මන්ට අවුරුදු අටක් වූ වයසේ දී පිළිකාවක් හේතුවෙන් මෙලොව හැර ගිය අතර මව රික්මන් ඇතුළු දරුවන් හදා වඩා ගෙන තිබුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ විවිධ රැකියා කරමිනි.

චිත්‍රකලාව සඳහා වූ රාජකීය ඇකඩමියෙන් ග්රැෆික් ඩිසයින් (Graphic Design) හැදෑරූ ඔහු තමන්ගේම ඩිසයින් ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකි.