ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුදු-කළු භේදයෙන් 'ඔස්කාර්' සිනමා ලොව කැළඹෙයි

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ත් ලෝක සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන ප්‍රදානය ලෝක සිනමා රසිකයන්ගේ මෙන්ම හොලිවුඩ් සිනමාකරුවන් ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ.

මූලික චෝදනාව වී ඇත්තේ ත්‍යාග ලාභීන් ලෙසට යෝජිත නම් අතර කළු ජාතික සිනමාකරුවන්ගේ නම් ඇතුලත් නොවීම මෙන්ම වෙනත් සුළු ජාතික සහ කාන්තාවන්ගේ නම් සංඛ්‍යාව ඉතාමත් පහල අගයක් ගැනීමයි.

'සුදු පැහැති ඔස්කාර්'

මේ වසරේ “ඔස්කාර් හරිම සුදුයි” යනුවෙන් විවේචන එල්ලවීම ආරම්භ වුයේ යෝජිත නම් ප්‍රකාශිත වූ දිනයේ දීම වුවද හිටපු කළු ජාතික සමාජ ක්‍රියාධරයෙකු වූ මාර්ටින් ලුතර් කිං අනුස්මරණ දිනයේ දී එය බොහෝ සේ පැතිරී යාම විශේෂත්වයක්.

ඒ සමගම විල් ස්මිත් සහ ස්පයික් ලී වැනි හොලිවුඩ් සිනමා වේ නම ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුම තමන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කරන බව පවසා තිබේ.

මේ අතර සම්මාන උළෙල පවත්වන ඇකඩමි ආයතනයේ සභාපතිවරිය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ ඉදිරි සති කීපය තුල ඇකඩමි ආයතනයේ සාමාජිකත්වය පිළිබඳව යළි සලකා බලා මින් ඉදිරියට ජනවර්ග විවිධත්වයෙන් යුතු පිරිස් එක්කර ගැනීමට කටයුතු කරන බවයි.

2020 ට පොරොන්දුවක්

ඇකඩමි ආයතනය පවසන ආකාරයට 2020 වෙන විට කාන්තා හා සුළුජාතික නියෝජනය දෙගුණ කරන්නට ඔවුන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.

කෙසේ වුවද විවේචකයන් පවසන්නේ තිරය මත පමණක් නොව තිරයෙන් පිටුපසද කාන්තා හා සුළු ජාතික නියෝජනය ප්‍රමාණවත් නැති බවයි.

ඇකඩමි සම්මාන සඳහා යෝජිත නම් තෝරාගන්නේ එම ආයතනයේ සාමාජිකත්වය දරන 6000 ක් පමණ වූ සාමාජිකයන්ගේ ඡන්දයෙන්.

වර්ගවාදය

2012 වසරේ දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත ඇකඩමි ආයතනයේ සාමාජිකත්වයේ සංයුතිය පිළිබඳව කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔස්කාර් සම්මාන යෝජනා සඳහා ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් 94% ක් පමණ කොකේසියානුවන් වන අතර 77% ක් පුරුෂ පක්ෂයේ අය බවයි.

කළු ජාතික සාමාජිකයන් 2% සහ ලතින් ඇමරිකානුවන් 2% යන ආකාරයෙනුයි සෙසු පිරිස බෙදී ඇත්තේ. සුදු ජාතික හොලිවුඩ් නළුවෙක් වන ඩස්ටින් හොෆ්මාන් පවසන්නේ වසර දෙසීයක් ගතවුවැඩ ඇමරිකාවෙන් වර්ගවාදය තුරන් වී නැති බවයි.

ඇමරිකාවේ සංගීත තැටි නිෂ්පාදකයෙක් වන ක්වින්සි ජෝන්ස් පෙබරවාරි 28 වෙනිදා පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ආරාධනා ලැබූ අයෙක්. ත්‍යාග ප්‍රදානය කිරීමට පළමුව ජාතික විවිධත්වය පිළිබඳව විනාඩි පහක් කතා කිරීමට ඉඩ නොදෙන්නේ නම් ත්‍යාග ප්‍රදානය ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසා තිබුණේ.