කැනඩාවේ වෙඩි තැබීම්වලින් 'සිව් දෙනෙක් මරුට'

Image copyright AP
Image caption වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ එක් ස්ථානයක් වන 'ලා ලොෂ්' ප්‍රජා පාසලෙන් පිටතදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය

කැනඩාවේ බටහිරට වන්නට පිහිටි 'සස්කැචුවාන්' පළාතේ සිදු වූ වෙඩි තැබීම්වලින් සිව් දෙනකු මරුමුවට පත් වී ඇති බව එරට පොලිසිය පවසයි.

සස්කැචුවාන් පළාතේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ස්ථාන දෙකකදී සිදු වී ඇති වෙඩි තැබීම්වලට ගොදුරු වී තවත් කීපදෙනකු තුවාල ලබා ලබා ඇති බවයි කැනේඩියානු පොලිසිය නිවේදනය කළේ.

වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ එක් ස්ථානයක් වන 'ලා ලොෂ්' ප්‍රජා පාසලෙන් පිටතදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

පාසල තුළ සිටි දරුවන් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයට ලක් වූ පළාතේ වැඩබලන නගරාධිපති කෙවින් ජැන්වියර් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ගුරුවරියක වශයෙන් සේවය කළ තම දියණිය ප්‍රහාරයෙන් මරුමුවට පත් වී ඇති බවයි.

තුවක්කුකරු පාසල වෙත පැමිණීමට ප්‍රථම සිය නිවසට ගොස් තම සහෝදරයන් දෙදෙනකුට වෙඩි තබා ඇතැයි පොලිසිය තමාට පැවසූ බවයි වැඩබලන නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජනපදයට සාපේක්ෂව කැනඩාව තුළ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති තර කොට තිබේ.

ප්‍රසිද්ධ ස්ථාන වෙත කෙරෙන වෙඩි තැබීම් කැනඩාවෙන් නිතර අසන්නට නොලැබේ.