පැරිස් ප්‍රහාරකයන්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට

Image caption අබ්දෙල්හමීඩ් අබාවුද් විසින් ප්‍රහාර මෙහෙයවා ඇති බව විශ්වාස කෙරේ

පසුගිය නොවැම්බර් මාසයේ පැරිස් නුවරට ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුවන් නව දෙනකුගේ ඡායාරූප ඇතුළත් වීඩියෝවක් ඉස්ලාමීය සටන් සංවිධානය අන්තර්ජාලයට එක් කොට ඇත.

ඒ අතර සිටින ඇතැම් පුද්ගලයන් විසින් මැද පෙරදිගදී සිරකරුවන්ගේ හිස ගසා දමනු ලබන ආකාරය සහ සන්නද්ධ පුහුණු ක්‍රියාත්මක කරන ආකාරය වීඩියෝවේ දැක්වේ.

වීඩියෝව නම් කොට ඇත්තේ 'දුටු තැන මරා දමනු' ලෙසයි.

අයිඑස් සටන්කරුවන්ට එරෙහිව සිරියාව තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වන අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙලකින් වීඩියෝව අවසන් වේ.

නිදැල්ලේ

පැරිස් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලට හසු වී පුද්ගලයන් එක සිය තිස් දෙනක් මරුමුවට පත් වූහ.

ප්‍රහාරයට ලක් වූ ස්ථානවල ඡායාරූපද වීඩියෝවේ ඇතුළත්.

පැරිසියට ප්‍රහාර එල්ල කළ දින රාත්‍රියේ හෝ ඉන් කෙටි කාලයක් ඇතුළත ප්‍රහාරකයන්ගෙන් නව දෙනකු මරා දැමුණු අතර සැකකරුවන් දෙදෙනෙක් තවමත් නිදැල්ලේ පසු වෙති.

අන්තර්ජාලයට එක් කරනු ලැබූ වීඩියෝවෙන් සිය රට බියට පත් නොවනු ඇති බවයි ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ප්‍රංශ ජනපති ෆ්‍රන්ශුවා ඔලොන්ද් කියා සිටියේ.