'සිකා' වෛරසයෙන් ඇමරිකානු මහාද්වීපය කැළඹෙයි

Image copyright Felipe dana

උපතේ දී ඇති වන ආබාධිත තත්වයන් හා සම්බන්ධ 'සිකා' (Zika) වෛරසය කැනඩාව සහ චිලී රාජ්‍ය හැර ඇමරිකානු මහද්වීපය පුරා පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මදුරුවන් හරහා බෝ වන 'සිකා' වෛරසය පසුගිය වසරේ මැයි මාසයේ සිට බ්‍රසීලය තුළ සීග්‍ර ලෙස පැතිර යමින් තිබේ.

'ඒඩස්'(Aedes) මදුරුවා හරහා 'සිකා' වෛරසය පැතිරෙන නමුත් පර්යේෂකයන් පවසන්නේ වෙනත් මාර්ග ඔස්සේද වෛරසය පැතිර යා හැකි බවයි.

වෛරසය පැතිරෙන ආකාරය සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලිය යුතු බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන ට්රූඩි ලෑන්ග්(Trudie Lang) කියා සිටියාය.

මේ වන විට 'සිකා' වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී ඇත.

මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරුවන් බිහි වීමේ අවදානම් තත්වය හේතුවෙන්, ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු හඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

වයිරසය වැළඳුනු පුද්ගලයන් සුළු උණ, සිරුරේ හන්දි වල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

Image copyright AP

උතුරු සහ දකුණු ඇමරිකාවේ මෙන්ම කැරබියන් කලාපයේ රටවල් විසි එකක වයිරසය වැළඳුනු පුද්ගලයන් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැතිරීමේ අවදානමක්

ඝර්ම කලාපීය වෙදකම් සහ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ලන්ඩන් විශ්වවිද්‍යාලය සහ බ්‍රසීලියා විද්‍යා පීඨය පවසන්නේ වයිරසය තදින්ම බලපා ඇති ප්‍රදේශ වල සෑම දරු උපත් පනහකටම එක් දරුවෙක් මොළයේ ඌන වර්ධනයක් ඇතිව උපදින බව මේ වන විට ලැබී ඇති දත්ත වලින් පෙනී යන බවයි.

Image copyright AP

බ්‍රසීලියා විද්‍යා පීඨයේ මහාචාර්ය ලෝරා රොඩ්රිගෝ (Laura Rodrigues) කියා සිටියේ මේ වසරේ නොවැම්බර් වන තෙක් සිය පර්යේෂණ කණ්ඩායම 'සිකා' (Zika) වෛරසය පිළිබඳව කිසිවක් නොදැන සිටි බවයි.

නමුත් මේ වන විට තමන්ට හැකි උපරිම අයුරින් සහ කඩිනමින් මෙම වෛරසය සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

'සිකා' (Zika) වෛරසය මදුරුවන් මගින් වැළඳෙන රෝග ව්‍යාප්තව ඇති ඕනෑම රටක පැතිර යාමේ අවදානමක් ඇති බව පවසන මහාචාර්ය ලෝරා රොඩ්රිගෝ අනතුරු අඟවන්නේ 'ඩෙංගු' මදුරුවන්ගෙන් පීඩා විඳින ආසියාවට 'සිකා' අවදානමක් ඇති බවයි.