යුරෝපා සංගමයේ අවිනිශ්චිත අනාගතය

Image copyright Reuters

පසුගිය දින දහයක කාලය තුල යුරෝපයේ නායකයන් පසු වුනේ ඉතාමත් අඳුරු කාල පරිච්ඡේදයකයි.

යුරෝපා නායකයෝ සංක්‍රමණික අර්බුදය සිය පාලනයෙන් ගිලිහී ඔබ්බට ගොස් ඇති බව විවෘතව පිළිගත් අතර යුරෝපා සංගමයේ ඉදිරි පැවැත්ම පිළිබඳ බිය පළ කළහ.

  • ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් : ‘යුරෝපයේ ඓතිහාසික අඩිතාලම බිඳවැටිය හැකියි, යුරෝපා සංගමය ඉතා ඉක්මනින් මිය යාවි. තවත් මාස කිහිපයකින් හැම දේම කඩා වැටෙන්න ඉඩ තියෙනවා.’
  • ජර්මානු මුදල් අමාත්‍ය වොල්ෆ්ගාන් චායෙබ්ලේ : ‘ශෙන්ගන් වීසා ක්‍රමය විනාශ වුනොත්, යුරෝපය බරපතල ලෙස තර්ජනයට ලක් වෙනවා.’
  • නෙදර්ලන්ත අගමැති මාර්ක් රූත් : ශෙන්ගන් කලාපය බේරා ගැනීමට යුරෝපා නායකයන්ට ඉතුරු වෙලා තියෙන්නේ සති හය හතක කාලයක් විතරයි.
  • යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලෞඩ් ජන්කර් : ‘යුරෝපයට ඉතුරුවෙලා තියෙන්නේ එක අවස්ථාවක් විතරයි. ශෙන්ගන් කලාපයෙන් තොරව යුරෝපා සංගමයට පැවැත්මක් නැහැ.’
Image copyright Getty

ශෙන්ගන් ගිවිසුම මගින් යුරෝපා කලාපය තුල නිදහසේ ගමන් කිරීමට හැකියාව ලබා දී ඇති අතර යුරෝපා රටවල් අතර සහයෝගීතාව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන්නේ ශෙන්ගන් ක්‍රමයයි.

කෙසේ වෙතත් සංක්‍රමණික අර්බුදය හේතුවෙන් ශෙන්ගන් ක්‍රමය නොසලකා හැරීමට ලක්ව තිබෙන්නේ යුරෝපා රටවල් වල දේශ සීමා වැටවල් නැවත ඉදි කර දේශ සීමා පාලනයට මුර කපොලු පිහිටුවා ඇති බැවිනි.

පසුගිය සඳුදා අනතුරු ඇඟවීමක් කළ ග්‍රීසිය කියා සිටියේ ගලා එන සංක්‍රමණිකයන් ප්‍රමාණයේ අඩුවක් නොවන්නේ නම් සිය රට ශෙන්ගන් කලාපයෙන් ඉවත් කර ගැනීමට සිදු වන බවයි.

Image copyright AFP

නෙදර්ලන්ත අගමැති මාර්ක් රූත් පවසන්නේ ගලා එන සංක්‍රමණිකයන් ප්‍රමාණය සමග තව දුරටත් පාලනය කළ නොහැකි වීම ප්‍රධාන සහ සරල ප්‍රශ්නය වන බවයි.

2015 යුරෝපයට ඇතුළු වී ඇති සංක්‍රමණිකයන් ප්‍රමාණය විසි ලක්ෂයකට ආසන්න වන අතර ඉන් දස ලක්ෂයකට අධික පිරිසක් ජර්මනියේ සරණාගත භාවය බලාපොරොත්තු වෙති.

තුර්කියේ සිට ග්‍රීසියට මේ වසරේ පමණක් ඇතුළු සංක්‍රමණිකයන් ප්‍රමාණය 35000 ඉක්මවයි.

ජර්මානු චාන්සලර්වරිය දෝෂ දර්ශනයට

ජර්මානු නායකයන් දිගින් දිගටම ප්‍රකාශ කලේ සංක්‍රමණික අර්බුදය මුළු යුරෝපයටම බලපාන ප්‍රශ්නයක් බවයි නමුත් ලෝකය පුරා මේ අදහස නිසි ලෙස ව්‍යාප්ත වී නැති ආකාරයක් පෙනේ.

Image copyright EPA
Image caption ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල්

නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ බොහෝ දේශපාලනඥයන් පවසන්නේ ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් සංක්‍රමණිකයන්ට පිළිගැනීමේ දෑත් දිගු කිරීම ඉතා විශාල ප්‍රමාණයෙන් සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණීම දිරිමත් කළ බවයි.

මෙම අර්ථකතනයේ හැටියට ජර්මනිය විසින් ආරාධනා කළ සංක්‍රමණිකයන්ගේ බර දැරීමට දැන් ඔවුන් අනෙක් යුරෝපා රටවල සහයෝගය අත්‍යවශ්‍ය බව පවසයි.

යුරෝපය තුල සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් රටවල් අතර අවිශ්වාසය සහ මත බෙදීම් හටගෙන ඇති බවයි මින් පෙනී යන්නේ.

යුරෝපා කොමිසම මෙම අර්බුදයට විසඳුම ලෙස දකින්නේ යුරෝපා රටවල් අතර සංක්‍රමණිකයන් සමානව බෙදා ගැනීමට කටයුතු කිරීමයි.

ඒ හරහා එකඟතාවය පල වුනේ යුරෝපය පුරා සමානව එක් ලක්ෂ හැට දහසක් සංක්‍රමණිකයන් පදිංචි කරවීමටයි.

තම තමන්ගේ ප්‍රතිපත්ති

Image copyright AFP

කෙසේ වෙතත් විවිධ යුරෝපා රටවල් තම තමන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගැනීමට පටන් අරන්.

හංගේරියාව සිය දේශ සීමාවේ වැටක් ඉදි කළ අතර ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ නොර්වේ සිය දේශ සීමා වල මුර කපොලු හඳුන්වා දී ඇත.

මේ හේතුවෙන් අද වන විට ශෙන්ගන් ගිවිසුම බිඳ වැටෙන මට්ටමක පවතියි.

මෙම දේශ සීමා බාධක තාවකාලික බව රටවල් දිගින් දිගටම කියා සිටියත් බාධක පවත්වා ගෙන යාම දිගටම සිදු වෙමින් තිබේ.