අයිඑස් හා එක් වූ බ්‍රිතාන්‍ය තරුණියකට සිර දඬුවම්

Image copyright AFP
Image caption ට්විටර් සමාජ ජාලය හරහා පණිවුඩ යවමින් ත්‍රස්ත ක්‍රියාවලට අනුබල ලබා දීමේ චෝදනාවටත් ඇය වරද කරු බව තීන්දු කෙරිණ

සිය සිඟිති පුතු රැගෙන සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය පාලන ප්‍රදේශයක් බලා ගිය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට වසර හයක සිර දඬුවම් ලබා දීමට එංගලන්තයේ බර්මින්හැම් අධිකරණයක් තීන්දු කරයි.

විසි හය හැවිරිදි තරීනා ශකීල්, අයිඑස් පාලන ප්‍රදේශයක සිට ආපසු පැමිණ එම සංවිධානයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් වරදකරු කෙරුණු පළමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවයි.

ට්විටර් සමාජ ජාලය හරහා පණිවුඩ යවමින් ත්‍රස්ත ක්‍රියාවලට අනුබල ලබා දීමේ චෝදනාවටත් ඇය වරද කරු බව තීන්දු කෙරිණ.

අයිඑස් හිස් වැස්මක් පළඳා ගිනි අවියක් අසල සිටිමින් තරීනා ශකීල් විසින් සිය පුතු ගේ ඡායාරූපයක් ගනු ලැබීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙසයි විනිසුරුවරයා හැඳින්වූයේ.

'නොසතුට'

ඇය තුර්කිය බලා පියාසර කොට එතැන් සිට දේශ සීමාව ඔස්සේ සිරියාව බලා ගොස් තිබේ.

තරීනා ශකීල් සිය මිත්‍රයන්ට පවසා ඇත්තේ තමා නිවාඩුවක් ගත කිරීම සඳහා රටින් බැහැර යන බවයි.

යුද්ධයට මැදිව සිටින සිරියාවට ගිය තමා එහිදීත් 'නොසතුටට' පත් වූ බවයි ඇය සඳහන් කරන්නේ.

සිරියාව බලා යෑම තමා විසින් ගනු ලැබූ වැරදි තීන්දුවක් බව ඒත්තු ගිය බවත් අනතුරුව සිය කැමැත්තෙන්ම බ්‍රිතාන්‍ය බලා ආපසු පැමිණීමට තීන්දු කළ බවත් ඇය කියා සිටියාය.

2015 වසරේ ජනවාරි මාසයේ දී රකා නගරයේ සිට ගමන් ගත් බස් රථයකින් පැමිණ අනතුරුව කුලී රථ රියදුරකුට අල්ලසක් ලබා දී තුර්කි දේශ සීමාව තෙක් පැමිණි බවයි තරීනා ශකීල් පවසන්නේ.