ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යෝෂිත දේශපාලන සිරකරුවෙක් - දිනේෂ්

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස දේශපාලන සිරකරුවන් ලෙස සලකා කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ යෝෂිත රාජපක්ෂගේ සුව දුක් විමසීම පිණිස වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙක් පමණ එහි ගොස් සිටියහ.

වැලිකඩ බන්ධනාගාරයට පැමිණි ඔවුන් යෝෂිත රාජපක්ෂ හා අනිකුත් සැකකරුවන් සමග පැයකට ආසන්න කාලයක් සුහද කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීම සඳහා අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔවුන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කොට රට පුරා විරෝධතා පවත්වන බවයි සඳහන් කළේ.

මාධ්‍යයට අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොලිසිය පවසන පරිදි යෝෂිත රාජපක්ෂ හා සීඑස්එන් ආයතනය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි

ආණ්ඩුවේ මෙම ''මර්දනකාරී ක්‍රියා පිළිවෙත'' නවතන තුරු ඒකාබද්ධ විපක්ෂය කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගී නොවන බවත් වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.