සිරියාවේ රුසියානු යුද ක්‍රියාකලාපය දැඩි විවේචනයට

ජිනීවා සිරියානු සාම සාකච්ඡා පැවැත්වෙන අතර තුර රුසියාව විසින් සිරියාවේ දිගින් දිගටම ගෙන යන හමුදා මෙහෙයුම් තුර්කි ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

තුර්කි ජනාධිපති රිසෙප් ටයියිප් එර්ඩෝගන් කියා සිටියේ මේ තත්වය යටතේ සිරියාවේ සාමය වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

සිරියානු රජයේ හමුදා වලට ඉදිරියට යාම පිණිස රුසියානු ගුවන් හමුදා විසින් ගෙන ගිය ඉතා තීව්‍ර ප්‍රහාර මාලාව හේතුවෙන් ජිනීවා සාකච්ඡා තාවකාලිකව අත්හිටුවා දිනකට පසුවයි තුර්කි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.

Image copyright AP

මේ අතර යුද්ධයට දේශපාලනමය විසඳුමකට වඩා හමුදා විසඳුමක් ලබා දීමට රුසියාව සහ සිරියාවේ අසාද් රජයට හිතවාදී පක්ෂ උත්සාහ දරන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරයි.

ජිනීවා සාකච්ඡා ඇනහිටීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන රුසියාව පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මෙම සාම සාකච්ඡා වලින් කිසිදු පාර්ශවයක් ඉක්මන් ප්‍රථිපල බලාපොරොත්තු නොවූ බවයි.

මානුෂීය අවශ්‍යතා

මේ අතර යුද්ධයෙන් පීඩා විඳින මිලියන ගණනක සිරියානු ජාතිකයන්ට යම් සහනයක් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර දෙන රටවල් විසින් ලන්ඩන් නුවර සම්මන්ත්‍රණයක් ආරම්භ කර තිබේ.

Image copyright AFP

සිරියාවේ පවතින අති විශාල මානුෂීය අවශ්‍යතා සැපයීමට යම් පියවරක් ගත යුතුව පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන් කී මුන් විසින් කළ කතාවෙන් පසු රටවල් හැත්තෑවක නියෝජිතයන් එක්ව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් ඇමරිකානු ඩොලර් කෝටි නමසීයක් එක් රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

Image copyright Reuters

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවට හදිසි අත්‍යවශ්‍ය සේවා සැපයීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සංක්‍රමණිකයන් වෙනුවෙන් අධ්‍යාපන සේවා සැපයීම සහ රැකියා අවස්ථා ලබා දීම සිදු කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ සිරියානු අර්බුදය මේ වන විට ලෝකයම වගකීම ඉසිලිය යුතු බරක් බවට පත් වී ඇති අතර මේ පිලිබඳ පුළුල් අවදානයක් යොමු විය යුතු බවයි.