ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාම දෙවියන්ටත් නඩුවක්

පවිත්‍රා පෙරේරා

බීබීසි සිංහල

ඉන්දියාවේ නීතීඥවරයෙකු වන චන්දන් කුමාර් සිං බොහෝ ඉන්දියානුවන් මවිතයට පත් කරමින් ප්‍රසිද්ධ හින්දු දෙවි රාම්ට එරෙහිව නඩුවක් පවරනු ලැබ තිබේ.

රාම් සිය බිරිඳ සීතා දේවියට ගෞරවයෙන් නොසැලකු බව තමන් විශ්වාස කරන බව පැවසූ නීතීඥවරයා කියා සිටියේ නැගෙනහිර බිහාරයේ අධිකරණයට මේ කරුණ නිල වශයෙන් ඉදිරිපත් කිරීම සිය අදහස වූ බවයි.

කෙසේ වෙතත් අධිකරණය ඔහුගේ තර්කය පිළිනොගත් අතර මෙම නඩුව ප්‍රායෝගික නොවන බව පවසමින් බැහැර කරනු ලැබීය.

ඊට අමතරව නීතීඥ චන්දන් සිං සමග සේවයේ යෙදෙන මිතුරන් පිරිසක් ඔහු මෙම නඩුව පවරා ඇත්තේ හුදෙක් ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණෙන් බව පවසති.

Image caption නීතීඥ චන්දන් කුමාර් සිං

නීතීඥ චන්දන් සිං රාම දෙවියන්ට අපහාස කළ බව පවසමින් ඔහුගේ මිත්‍ර නීතීඥයන් කණ්ඩායම ඔහුට එරෙහිව නඩුවක්ද පැවරීමට පියවර ගෙන තිබේ.

සංස්කෘත ශ්ලෝක විසිහතර දහසකින් විස්තර කෙරෙන රාමායනයේ වීරයා ලෙස පිදුම් ලබන්නේ රාම දෙවියන්.

ලෝකය පුරා හින්දු බැතිමතුන් මිලියන ගණනක් රාම දෙවියන් අදහන්නේ ඉතාමත් ගෞරවයෙන්.

'රාම සීතාව විශ්වාස කළේ නැහැ'

සිය නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන දැඩි විවේචන හමුවේ පීඩාවට පත්ව සිටින නීතීඥ චන්දන් සිං තවමත් සිය නඩුව නීත්‍යනුකූල බව විශ්වාස කරයි.

"මේක ඉතා ප්‍රසිද්ධ කරුණක්. ලංකාපුරයේ රාවනා රජුගේ පැහැර ගැනීමට ලක් වෙලා හිටපු සීතා දේවිය බේර ගත්තු රාම ඇයගෙන් ඇහුව ඇය තවමත් පති වත රකින පිරිසිදු කාන්තාවක් ද කියලා. ඔහු ඇයට කිව්වා තමන්ගේ පාරිශුද්ධත්වය ඔප්පු කරන්න කියලා. රාම සීතාව විශ්වාස කළේ නැහැ. යනු චන්දන් ගේ තර්කයයි.

"රාමගේ මේ හැසිරීම පෙන්නුම් කරනවා ඉතා ඈත අතීතයේත් කාන්තාවන්ට හිමි ගෞරවය ලැබී නැති බව.මම දන්නවා මේ නඩුව මහා විහිළුවක් විදිහට ගොඩක් අය දකීවි, නමුත් මම දකින විදිහට අපේ ඉතිහාසයේ මේ කොටස නැවත සාකච්ඡා කළ යුතුව තියෙනවා. මම නැවතත් මේ නඩුව අධිකරණය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම දැඩිව විශ්වාස කරනවා රාම සීතාට වැරදි විදිහට සලකපු බව ඉන්දියානුවෝ පිළිගත යුතුයි කියලා." ඔහු අවධාරණය කළේය.

කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම වැරැද්දක්දැයි ප්‍රශ්න කරන චන්දන් කුමාර් සිං පවසන්නේ ඉදිරිපත් කළ නඩුව විභාග කළ යුතු බව අධිකරණය තීරණය කළේ නම් කාන්තාවන්ට ගෞරව කළ යුතු බවට සුභවාදී පණිවුඩයක් ඉන්දියානුවන් අතර පැතිරෙන්නට ඉඩ තිබූ බවයි.

කෙසේ වෙතත් ඔහුගේ සහෝදර නීතීඥයන් මෙම තර්ක නොපිළිගන්නා අතර නීතිඥ රන්ජන් කුමාර් සිං බීබීසියට කියා සිටියේ චන්දන් සිං විසින් හින්දු භක්තිකයන් අපහාසයට ලක් කර ඇති බවයි.

'නීති වෘතිය තහනම් කරන්න'

Image copyright style

"ඔහුට ප්‍රසිද්ධිය ලබා දෙන නඩු අධිකරණයට ඉදිරිපත් කිරීමේ ඉතිහාසයක් තියෙනවා. නමුත් මේ පාර ඔහු දුරදිග ගියා වැඩියි. ඔහු අපේ ආගමික විශ්වාස වලටයි මේ පහර එල්ල කළේ. අපි ඉන්දියාවේ නීතිඥයන්ගේ සංගමයෙන් ඉල්ලා සිටිනවා ඔහුට නීති වෘතිය තහනම් කරන්න කියලත්. මේ පාරවත් ඔහු පාඩමක් ඉගෙන ගන්න ඕනේ." යනු නීතිඥ රන්ජන් කුමාර් සිං ගේ පිළිතුරයි.

නමුත් නීතීඥ චන්දන් සිං කියා සිටින්නේ සිය සටන රාම දෙවියන්ට එරෙහිව ගෙන යන්නක් නොවන බවයි.

තමනුත් රාම දෙවියන්ව අදහන බව පවසන ඔහු කියා සිටියේ තමන් යම් හින්දු භක්තිකයෙකුගේ හිත රිදෙව්වා නම් සමාව ඉල්ලා සිටින නමුත් රාම දෙවියන් සීතාට අගෞරව කිරීම නොසලකා හැරිය යුතු කරුණක් ලෙස තමන් නොදකින බවයි.