ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හොංකොං පොලිසියට ගල් මුල් ප්‍රහාර

හොංකොං ‘මොන්ග් කොක්’ දිස්ත්‍රික්කයේ චීන අලුත් අවුරුදු සැණකෙළිය වෙනුවෙන් නීති විරෝධී ලෙස ඉදි කළ තාවකාලික බොජුන් කුටි ඉවත් කිරීමට කටයුතු කළ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ නගරයට පැමිණි ආහාර තත්ව පරීක්ෂක නිලධාරීන් විසින් මෙම තාවකාලික බොජුන් කුටි ඉවත් කරන මෙන් දුන් නියෝගයත් සමග භෝජන කුටි හිමියෝ එයට විරෝධය දක්වමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

Image copyright AP

උණුසුම්කාරී තත්වය සන්සුන් කිරීමට පැමිණි පොලිසියට විරෝධතා කරුවන් ගල් මුල් වලින් පහර දෙනු ලැබ ඇත.

පොලිසිය විසින් බැටන් පොලු සහ අහසට වෙඩි තැබීම් භාවිතා කරමින් තත්වය සමනය කිරීමට උත්සාහ දැරූ අතර විසි තුන් දෙනකුට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත් විය.

නීති විරෝධි බොජුන් කුටි

පොලිස් භටයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන් හතළිස් හතර දෙනෙකුට අධික පිරිසක් ගැටුමෙන් තුවාල ලැබූහ.

Image copyright AFP

2014 වසරේ පැවති අති විශාල ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට පසු හොංකොං හි ඇතිවූ විශාලම විරෝධතාව මෙය බවයි පැවසෙන්නේ.

‘මොන්ග් කොක්’ දිස්ත්‍රික්කයේ මහා මාර්ග වල තාවකාලික බොජුන් කුටි බහුලව දැකිය හැකි අතර විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේ සාම්ප්‍රදායික කැවිලි වර්ග විකුණන කුඩා කුටි සෑම වසරකම දැක ගත හැකි වෙයි.

Image copyright AP

සාමාන්‍යයෙන් මෙවන් නීති විරෝධි බොජුන් කුටි සම්බන්ධයෙන් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් මේ වසරේ එවන් කුටි ඉවත් කිරීමට පියවර ගැනීම මෙම ගැටුම් කාරී තත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතා කරුවන් අතර බේජිං පාලනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සටන් කළ ක්‍රියාධරයන් කණ්ඩායමක්ද සිටි බවයි හොංකොං පොලිසිය පවසන්නේ.