ජුවාන් පාවුළු පාප් වහන්සේ මිතුරියට ලියූ හසුන් පත්

Image copyright Photograph provided by Bill and Jadwiga Smith
Image caption ඇන-ටෙරිසා ටිමෙනියෙස්කා මහාචාර්යවරිය වතිකානයේදී ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ හමු වූ අවස්ථාව

2005 වසරේදී ස්වර්ගස්ථ වී වදාළ ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සහ විවාහක කාන්තාවක් අතර පැවති සමීප මිතුදමක් පිළිබඳ තොරතුරු දැක්වෙන හසුන් පත් සිය ගණනක් සහ ඡායාරූප බීබීසීයට දැක ගැනීමට සලස්වා ඇත.

එකී හසුන් පත් සහ ඡායාරූපවලට අනුව දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සහ පෝලන්තයේ උපද ලද ඇමරිකානු දාර්ශනික ඇන-ටෙරිසා ටිමෙනියෙස්කා මහාචාර්යවරියගේ සමීප මිත්‍රත්වය දශක තුනක් ඈතට දිව යන්නක්.

උන්වහන්සේ විසින් ඇය වෙත යවන ලද හසුන් පත් මහජනයාගෙන් බැහැරව වසර ගණනාවක් පුරා පැවතියේ පෝලන්තයේ ජාතික පුස්තකාලය බාරයේයි.

ශුද්ධෝත්තමයන් විසින් මහාචාර්යවරිය වෙත ලියන ලද ලිපි හරහා උන්වහන්සේගේ චරිතය තුළ වූ නොදුටු පැතිකඩක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

බීබීසී වර්තකාරිනී කැරොලින් ව්යැට් කියා සිටියේ පූජක දිවියට නුසුදුසු කටයුතු වල උන්වහන්සේ යෙදී ඇතැයි පිළිබිඹු වන කරුණු ලිපි තුළ අඩංගු නොවන බවයි.

'පැවිදි දිවිය තුළ පූජක බ්‍රහ්මචර්යාව රකින බවට ලබා දුන් ප්‍රතිඥාව දෙවැනි ජෝන් පාවුල් පාප් වහන්සේ විසින් කඩ කොට ඇති බව දැක්වෙන කරුණු කිසිවක් ලිපි තුළ දක්නට නැහැ. සෙසු ලෝකයෙන් හුදකලාව පවතින පදවි අතුරින් එකක වගකීම් දැරූ උන්වහන්සේගේ මනුෂ්‍ය පැතිකඩ මේ ලිපි වලින් පෙනෙන්න තිබෙනවා' ඇය සඳහන් කරන්නීය.

Image copyright Other
Image caption පෝලන්තයේ උපද ලද ඇමරිකානු දාර්ශනික ඇන-ටෙරිසා ටිමෙනියෙස්කා මහාචාර්යවරිය

ඇන-ටෙරිසා ටිමෙනියෙස්කා මහාචාර්යවරිය සහ දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ අතර මිතුදම ඇරඹි ඇත්තේ 1973 වසරේදීයි.

මහාචාර්යවරිය උන්වහන්සේ හා පළමුව සම්බන්ධ වී ඇත්තේ සිය පදවි ප්‍රාප්තියට පත් වීමට වසර පහකට ඉහතදී එවකට උන්වහන්සේ විසින් රචනා කරනු ලැබූ දර්ශනවාදය පිළිබඳ ග්‍රන්ථයක් පිළිබඳ විමසීම සඳහායි.

ඉන් අනතුරුව ග්‍රන්ථය හා එහි සඳහන් කරුණු පිළිබඳ වැඩිදුර විමසීම සඳහා ඇය පෝලන්තය බලා පියාසර කොට ඇත.

කුලුපග මිතුරන්

දෙදෙනා අතර ලිපි හුවමාරුව ආරම්භ වී ඇති ඇත්තේ ඉන් අනතුරුවයි.

ළෙන්ගතුකම වර්ධනය වීමත් සමග දෙදෙනා කුලුපග මිතුරන් බවට පත් වී ඇති අතර සිය පදවි ප්‍රාප්තියෙන් අනතුරුවත් උන්වහන්සේ සිය මිතුරිය වෙත ලිපි ලිවීමට සුළු වෙලාවක් වෙන් කොට ඇති බව දැක ගත හැක.

වසර 450 කට පසු එම පදවියට පත් ඉතාලි ජාතිකයකු නොවන පළමු වැන්නා දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේයි.

පෝලන්තයේ උපන් උන්වහන්සේ එරට කොමියුනිස්ට් රිජීමයට එරෙහිව නැගී සිටි අතර උන්වහන්සේගේ එම ක්‍රියාව ජනතා ගෞරවයට පාත්‍ර විය.

උන් වහන්සේ ස්වර්ගත වන විට අසූ හතර වන වියේ පසු වූ අතර ඇමරිකානු දාර්ශනික ඇන ටෙරිසා ටිමෙනියෙස්කා මහාචාර්ය වරිය 2014 වසරේදී දිවියෙන් සමු ගත්තා.

දාසය වන දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ ශාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කෙරුනේද 2014 වසරේදීයි.