බරක් ඔබාමා ළඟදීම කියුබාවේ සංචාරයක

Image copyright AFP
Image caption 2015 අප්‍රේල් මස එකොළොස් වනදා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මුණගැසුණු අවස්ථාව

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉදිරි සති කිහිපය තුල කියුබාවේ සංචාරයක නිරත වීමට නියමිත බව එක්සත් ජනපදය නිවේදනය කරයි.

මෙය කියුබානු ඇමරිකානු සම්බන්ධතා වල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

1928 දී ජනාධිපති කෙල්වින් කූලිජ් (Calvin Coolidge) ගෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙක් කියුබාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.

Image copyright

කස්ත්‍රෝ පවුල කියුබාවේ බලය මෙහෙයවන තෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකු එරට සංචාරය නොකළ යුතු බව පවසන ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්ෂිකයෝ බරක් ඔබාමාගේ සංචාරය විවේචනය කරති.

වොෂින්ටන් සහ හවානා අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීම් පසුගිය වසරේ වඩාත් ශක්තිමත් වූ අතර පසුගිය ජූලි මාසයේ දී වසර පනස් හතරක් පුරා රටවල් දෙක අතර පැවති ඇතැම් වෙළඳ සහ ගමනාගමන සම්බාධක ඉවත් කෙරිණ.

දශක පහක් පුරා සම්බාධක

පසුගිය දෙසැම්බරයේ ‘යාහු’ අන්තර්ජාල පුවත් සේවය අමතමින් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ තමන් කියුබානු දේශපාලනඥයන් හමුවී එරට රජය නව මාවතක් දෙසට ගමන් කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට අපේක්ෂා කරන බවයි.

Image copyright Reuters

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ සංචාරයට ප්‍රතිචාර දැක්වූ කියුබානු රජය කියා සිටියේ සිය රට බරක් ඔබාමා සාදරයෙන් පිළිගන්නා නමුත් රටේ අභ්‍යන්තර ගනුදෙනු වලට ඔහු ඇඟිලි ගැසීම් නොකළ යුතු බවයි.

නෞකා මගින් රටවල් දෙක අතර නැවතත් වෙළඳ ගනුදෙනු ප්‍රතිස්ථාපනය කිරීමට ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කළ යෝජනාව කොන්ග්‍රසයේ බහුතර රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම නෞකා සම්බාධක මගින් ඇමරිකාව සහ කියුබාව අතර වෙළඳ ගනුදෙනු සීමා කෙරෙන අතර ඇමරිකානු වැසියන් කියුබාවේ සංචාරය කිරීම තහනම් කෙරේ.