අන්කාරා ප්‍රහාරය: සැක කරුවන් දාහතරක් අත්අඩංගුවේ

Image copyright EPA

ගිනිකොන දිග තුර්කියට එල්ල කෙරුණු කාර් බෝම්බ ප්‍රහාරයකින් තුර්කි හමුදා භටයන් හය දෙනෙකු ඝාතනය වී ඇති බව එරට බලධාරීහු පවසති.

පිපිරීම සිදු වී තිබෙන්නේ තුර්කියේ දියාබකීර් නගරය ආසන්නයේ මහා මාර්ගයකයි.

Image copyright Getty

ඊයේ (බදාදා) පුද්ගලයන් විසි අට දෙනකුට මරු කැඳවමින් අන්කාරා අගනුවර පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව තුර්කි ජනපති රීසෙප් තයියිප් එර්දෝගන් පවසයි.

කෙසේ වෙතත් තුර්කි අගමැති අහමද් දව්තොග්ලු ඊයේ කියා සිටියේ ප්‍රහාරය පිටුපස සිටින්නේ YPG සහ PKK කුර්දි සටන්කාමී කණ්ඩායම් වන බවයි.

Image copyright AP

කුර්දි සටන්කාමී සිරියානු ජාතික සලීහ් නෙකාර් නම් පුද්ගලයකු බෝම්බ ප්‍රහාරය සිදු කළ බවයි අගමැතිවරයා චෝදනා එල්ල කළේ.

බීබීසිය වෙත ප්‍රකාශ නිකුත් කළ YPG කුර්දි ආරක්ෂක සටන්කාමී කණ්ඩායම මෙම ප්‍රහාරයට සිය කණ්ඩායමේ සම්බන්ධයක් නැති බව පැවසූ අතර PKK කුර්දි කණ්ඩායම කියා සිටියේ ප්‍රහාරය ගෙන ගියේ කවුරුන්දැයි සිය සංවිධානය නොදන්නා බවයි.