හින්දු පූජක ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවේ

Image caption ජගේශ්වර් රෝයි පූජකවරයාගේ ඥාතීන්

උතුරු දිග බංගලාදේශයේ ඉරිදා දිනයේදී හින්දු පූජකයකු කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

ජගේශ්වර් රෝයි (Jaggeshwar Roy )නමැති පූජකවරයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට පෙර ඔහු විසින් පවත්වා ගෙන යනු ලැබූ දේවස්ථානයට එම ප්‍රහාරකයන් තිදෙනා විසින් වෙඩි තබනු ලැබ ඇති බවයි පොලිසිය පවසන්නේ.

පූජකවරයාගේ සහායට පැමිණීමට උත්සාහ කළ තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයට පැමිණි පිරිස තහනම් කරන ලද ජමාත් උල් මුජහිදීන් (Jamaat-ul-Mujahideen), ඉස්ලාමීය කණ්ඩායමට අයත් බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.

බංගලාදේශයේ සුළු ජන කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් ඉලක්ක කොට මෑත කාලය තුළ ප්‍රහාර ගණනාවක් එල්ල වී තිබේ.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති නමුත් බංග්ලාදේශ බලධාරීහු එරට IS ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වන බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.