නේපාලයේ ගුවන් අනතුරකින් මගී ජීවිත රැසක් විනාශ වෙති

Image copyright EPA
Image caption හිමාල කඳු නගින්නන් අතර ප්‍රචලිත 'ජෝම්සන්' නමැති සංචාරක නගරය වෙත පියාසර කළ 'ටාරා' අභ්‍යන්තර ගුවන් සමාගමට අයත් මගී යානයක්

කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණු කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මරුමුවට පත් වී ඇතැයි සිතන බව නේපාල බලධාරීහු නිවේදනය කරති.

සහන කණ්ඩායම් විසින් අනතුරට පත් යානයේ සුන්බුන් සොයා ගනු ලැබ ඇති බවයි අලුත්ම ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් විසි තුන් දෙනකු රැගත් යානය බටහිර දිග නේපාලයේ පොකාරා නගරයේ පිහිටි සංචාරක නිකේතනයකින් ගුවන් ගත වී සුළු වෙලාවකට පසු යානය සමඟ පැවති සබඳතා ඇනහිට තිබේ.

හිමාල කඳු නගින්නන් ගමන් ආරම්භ කරන ජනප්‍රිය මධ්‍යස්ථානයක් වන 'ජෝම්සන්' නමැති සංචාරක නගරය බලායි යානය පියාසර කරමින් තිබුණේ.

මරුමුවට පත් පිරිසෙන් බහුතරයක් නේපාල ජාතිකයෝ වෙති.

Image copyright AFP
Image caption 'ටාරා' අභ්‍යන්තර මගී ගුවන් සමාගමකට අයත් යානයක්

චීන ජාතිකයකු සහ කුවේට් ජාතිකයකුත් මිය ගිය පිරිස අතර සිටින බවයි බලධාරීන් කියා සිටියේ.

අනතුරට පත් යානය 'ටාරා' නමැති නේපාල අභ්‍යන්තර මගී ගුවන් සමාගමකට අයත් වූවක්.

ගුවන් යානය අනතුරට පත් වීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.

මෑත වසර කීපය තුළ නේපාලයෙන් ගුවන් යානා අනතුරු ගණනාවක් වාර්තා වූ අතර අයහපත් කාලගුණය, අත්දැකීම් අඩු ගුවන් නියමුවන් සහ නිසි නඩත්තුවක් නොමැතිකම අනතුරු බොහොමයකට හේතු වී තිබේ.