පස් හැවිරිදි 'මෙසී' ලෝලියාගේ සිහිනය සැබෑ වෙයි

Image copyright twitter
Image caption මුර්ටසා ඇඳ සිටින්නේ වැඩිමහල් සොහොයුරා විසින් තනා දෙනු ලැබූ මෙසී ගේ ජර්සියේ ප්ලාස්ටික් බෑග් අනුකරණයයි

ආජෙන්ටිනියානු පාපන්දු තරුවක් වන ලයනල් මෙසී ගේ අංක 10 සඳහන් ජර්සියක අනුකරණයක් ප්ලාස්ටික් බෑගයකින් තනා ගෙන එය පැළඳ පාපන්දු ක්‍රීඩාවේ නියැළීම හේතුවෙන් අන්තර්ජාලයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් පස් හැවිරිදි ඇෆ්ගනිස්තාන දරුවා අවසන තමන් බලාපොරොත්තුව සිටි දේ සිය සිහින පාපන්දු සූරයා වෙතින් සැබෑවට ම ලබා ගත්තේය.

තෑගී පාර්සලයක්

මෙසී ගේ කළමනාකරණ කණ්ඩායම තහවුරු කළේ පස් වතාවක් ලොව හොඳ ම පාපන්දු ක්‍රීඩකයා ලෙස කිරුළු පළන් පාපන්දු සූර ලයනල් මෙසී ගේ අත්සනින් යුත් අංක 10 දරන පාපන්දු ජර්සියක් හා පාපන්දුවක් ඇතුළත් තෑගි පාර්සලයක් මේ පස් හැවිරිදි ‘මුර්ටාසා ‘ නම්‘මෙසී ගේ ළා බාල පාපන්දු ලෝලියා‘වෙත, බාසිලෝනාවෙන් පසුගිය බ්‍රහස්පතින්දා පිටත් කර හැරි බවයි.

‘මම මෙසීට ආදරෙයි. මට ලැබුණු මේ කමිසය කියන්නේ මෙසීත් මට ආදරේ බව‘ යැයි ඇෆ්ගනිස්තාන යුනිසෙෆ් කාර්යාලය හරහා මෙසී විසින් එවන ලද තම විශේෂ තෑගි මල්ල ලබා ගැනීමෙන් පසු කමිසය ඇඟ ලා ගෙන පා පන්දු ක්‍රීඩාවේ යෙදුණු මේ පස් හැවිරිදි ‘මෙසී ලෝලියා‘ ගෝලයක් සම්පූර්ණ කරමින් කියා සිටියේ ය.

මෙසී, යුනිසෙෆ් හි සන්නාම තානාපතිවරයකු ලෙස ද කටයුතු කරයි.

Image copyright AFP
Image caption අනුකරණ ජර්සිය ඇඳ ක්‍රීඩාවේ යෙදෙන මුර්ටාසා

‘MESSI 10‘ යනුවෙන් ප්ලාස්ටික් බෑගයක අතින් ඇඳ ගෙදර දී සකසා ගත් පාපන්දු ජර්සියක් පැළඳ ක්‍රීඩාවේ යෙදෙන ලයනල් මෙසී ගේ කුඩා පාපන්දු ලෝලියා සොයා ගැනීමේ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම අරඹන පිරිස ගේ මුල් අනුමානය වූයේ මේ දරුවා ඉරාකයේ වෙසෙන්නකු බව ය.

‘ඉරාකයේ වෙසෙන දරුවකු ලයනල් මෙසී ගේ ජර්සියක් ප්ලාස්ටික් බෑගයකින් සකසා ගෙන තිබෙනවා‘ යි තුර්කියේ ක්‍රීඩා වෙබ් අඩවියක් ද වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් වෙනත් දරුවන් ගේ සේයාරූ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විසුරුවා හරිමින් කටයුතු කරන්නට ඇතැමුන් පෙළැඹී ඇතැයි පැවසූ ‘BBC Trending‘වෙබ් අඩවිය සේයාරුවේ දැක්වෙන සැබෑ දරුවා සොයා ගැනීමට තමන් සමත් ව ඇති නිසා මේ පිළිබඳ පැවැති ගැටලුව විසඳී ඇති බවත්, සැකයක් ඇති කර ගැනීමට වුවමනා නැති බවත් පසුව පැවසී ය.

සමාජ ජාලා

ලයනල් මෙසී ගේ මේ ළා බාල පාපන්දු ලෝලියා ගේ සේයාරුව ලැව් ගින්නක් සේ සමාජ ජාල මාධ්‍ය හරහා පැතිර යන්නට පටන් ගත්තේ එය තුර්කියේ ලයනල් මෙසී ලෝලීන් ගේ බ්ලොග් අඩවිවල පළවීමෙන් පසු ය.

මුර්ටාසා ගේ මාමා කෙනකු වන වන ඔස්ට්‍රෙලියාවේ දිවි ගෙවන අසීම් අහ්මදි හරහා මේ සේයා රූ අන්තර්ජාලයට මුදා හළ බව මුර්ටාසා ගේ වැඩිමහල් සොයුරු හෝමායූන් පවසයි. ලොව සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වන මෙවන් තොතරතුරු පිළිබඳ තව දුරටත් සොයා බලන හා පැහැදිලි කිරීමේ යෙදෙන ‘BBC Trending‘ වෙබ් අඩවිය මුර්ටාසා ගේ පියා අරිෆ් අහ්මදී සම්බන්ධ කර ගන්නේ මේ අසීම් අහ්මදි හරහා ය.

Image copyright unicef
Image caption මුර්ටාසා මේ ඇඳ සිටින්නේ ලයනල් මෙසී ගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ජර්සියයි

ඇෆ්ගනිස්තානයේ ගැන්සි (Ghanzi)ප්‍රාන්තයේ, ජගෝරි (Jaghori) දිස්ත්‍රික්කයේ පිටිසර පළාතකින් ලයනල් මෙසී ගේ පස් හැවිරිදි විසල් පාපන්දු ලෝලියා වන මුර්ටාසා අහ්මදී අවසන සොයා ගැනිණි. ඒ බව මුර්ටාසා ගේ පියා වන අරිෆ් අහ්මදී සමඟ සබඳතාවක් ගොඩ නඟා ගත් බීබීසීය අනාවරණය කළේ ය. ගැන්සි (Ghanzi)ප්‍රාන්තය කාබුල් - කන්දහාර් මහමඟ සමීපයේ කාබුල් නුවරට නැඟෙනහිරින් පිහිටියකි. කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය මේ පළාතේ වැසියන් ගේ ජීවනෝපායය වේ.

ඇෆ්ගනිස්තානයේ ගැන්සි (Ghanzi)ප්‍රාන්තයේ, ජගෝරි (Jaghori) දිස්ත්‍රික්කයෙන් ලයනල් මෙසී ගේ පස් හැවිරිදි විසල් පාපන්දු ලෝලියා වන මුර්ටාසා අහ්මදී සොයා ගන්නට හැකි වූ බව බීබීසීය පැවසීමත් සමඟ සමස්ත මෙසී ලෝලීන් ගේ අවධානය ඒ වෙතට යොමු විය.

‘ඉන්ටර්නෙට් එකෙන් හොයන්නෙ මගේ ළමයා ගැන තමයි‘මුර්ටාසා ගේ පියා අරිෆ් අහ්මදී තම ඇෆ්ගනිස්තාන සබඳතාව සහිත ජංගම දුරකතනය හරහා බීබීසීයට පිළිතුරු දුන්නේ ය.

ඔහු පවසා සිටියේ මුර්ටාසා ප්ලාස්ටික් බෑගයකින් සකසා ගත් ජර්සියක් ඇඳ සිටින සේයාරුව තම වැඩිමහල් දරුවා වන හෝමායූන් ගේ ෆේස්බුක් පිටුවේ පළ කරන්නට ඔස්ට්‍රෙලියාවේ දිවි ගෙවන සිය සොයුරා වන අසීම් අහ්මදි කටයුතු කළ බව ය.

'වත්කමක් නෑ'

‘පොඩි එකා ෆුට්බෝල්වලට වගේම මෙසීටත් ගොඩක් කැමතියි. අපට එයා වෙනුවෙන් ජර්සියක් මිල දී ගන්නට වත්කමක් නෑ. මං පුංචි ගොවියෙක්. ඒ හින්දා ලොකු දරුවා එයාට ප්ලාස්ටික් බෑග් එකකින් ජර්සියක් හදලා දුන්නා.‘යි අරිෆ් අහ්මදී බීබීසීයට කියා සිටියේ ය.

පියා පවසා සිටියේ තමන් ඉතා ජනප්‍රිය චරිතයක් වී ඇති බව මුර්ටාසා දන්නා බවත් ඔහු ඒ පිළිබඳ ‘ඉතා සතුටින්‘ සිටින බවත් ය.

Image copyright Reuters

‘මුර්ටාසා ‘දැවැන්ත මෙසී ලෝලියෙක්‘.එයාට ඇත්තම බාර්සිලෝනා හරි ආජන්ටිනා හරි ජර්සියක් අරන් දෙන්නට අපට වත්කමක් නෑ. ඒ නිසා මං මේ විදියට ප්ලාස්ටික් බෑග් එකකින් එයාට ජර්සියක් හදලා, මෙසීගේ නමයි නොම්මරයයි ඇඳලා දුන්නා‘ යි මුර්ටාසා ගේ ලයනල් මෙසී ලෝලිත්වයට උපායශීලී විසඳුමක් ලෙස ප්ලාස්ටික් ජර්සියක් සකසා දුන් ඔහු ගේ වැඩිමහල් සොයුරු හෝමායූන් (Homayoon)පවසයි.

ඇෆ්ගනිස්තාන පාපන්දු පෙඩරේෂණය සමඟ අදහස් හුවමාරු කර ගෙන ඇති ආජෙන්ටිනියානු පාපන්දු තරුව වන ලයනල් මෙසී පස් හැවිරිදි තම කුඩා පාපන්දු ලෝලියා සමඟ හමුවක් සූදානම් කරන්නැයි ඉල්ලා ඇති බව ද පසුගිය දා වාර්තා විය. ඇෆ්ගනිස්තාන පාපන්දු බලධාරීන් සඳහන් කර තිබුණේ තම පාපන්දු ලෝලියා හමුවීමට ලයනල් මෙසී ඇෆ්ගනිස්තානයට පැමිණීමට හෝ මුර්ටාසා බාසිලෝනා වෙත කැඳවා ගෙන යාමට හෝ කටයුතු කෙරෙන බව ය.

ඇරැයුමක්

පස් වියැති මුර්ටාසාට තමා හමුවීම සඳහා Camp Nou නම් බාර්සිලෝනාහි පිහිටි දැවැන්ත ම පාපන්දු ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙසට මෙසී ඇරියුම් කර ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

කෙ‍සේ වෙතත් ඉමහත් ජනප්‍රියත්වයට ලක් ව සිටින මුර්ටාසාට කාබුල් නගරයේ පිහිටි ඇෆ්ගනිස්තාන පාපන්දු පෙඩරේෂණ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද ඇරියුමක් පසුගිය දා ලැබිණි. එහිදී ඇෆ්ගනිස්තාන පාපන්දු ක්‍රීඩකයන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදුණු පස් හැවිරිදි මුර්ටාසා පවසා සිටියේ ‘මට මෙසී මුණ ගැහෙනකං ඉවසිල්ලක් නෑ‘ යනුවෙනි. වාර්තාකරුවන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුර්ටාසා පැවසුවේ ‘මෙසී වැනි පා පන්දු ක්‍රීඩකයකු වීම තමන් ගේ ද බලාපොරොත්තුව‘ බවයි.

‘BBC Trending‘ වෙබ් අඩවියට බ්ලොග් සටහනක් එක් කරන ස්තෙපන් ෆොට්රෙල් පවසන්නේ මෙසී, මුර්ටාසා ගේ වැඩිමහල් සොයුරු හමායූන් හා පවුලේ අය වෙත ද අමතර කමිස තෑගි වශයෙන් යවා ඇති බව ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර