ස්ත්‍රී දූෂක රණවිරුවන් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවම්

Image copyright AP
Image caption 'සේපර් සර්කෝ' කඳවුරේදී සොල්දාදුවන් විසින් නිරන්තරයෙන් දූෂණයට ලක් වූ කාන්තාවන් නඩු තීන්දුව ලබා ගැනීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාව.

ගෝතමාලාවේ මුල් පදිංචිකාර කාන්තාවන් දූෂණය කිරීම සහ ඔවුන් වහල් භාවයේ රඳවා ගැනීමේ චෝදනා වලට වරදකරුවන් වූ හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර තුන්සිය හැටක සිර දඬුවමක් නියම කරනු ලැබුණි.

1980 දශකයේ ගෝතමාලා හමුදා නැගිටීමේදී සොල්දාදුවන් විසින් සිදු කරනු ලැබූ ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව ගොනු කෙරුණු චෝදනා ඔප්පු වූ පළමු වතාව මෙයයි.

එවකට ගෝතමාලා ප්‍රධාන හමුදා කඳවුරක අණදෙන නිලධාරීවරයාව සිටි 'හෙරිබෙතෝ වල්දෙස් අසිජ්' (Heriberto Valdez Asij) විසින් කෑම පිසීම, බැරැක්ක පිරිසිදු කිරීම වැනි කටයුතු සිදු කිරීමට බලහත්කාරයෙන් මුල් පදිංචිකාර කාන්තාවන් යොදවනු ලැබ ඇති බව අධිකරණයේ දී හෙළි විය.

Image caption 'හෙරිබෙතෝ වල්දෙස් අසිජ්' (Heriberto Valdez Asij)

එලෙස හමුදා කඳවුරු වල වහල් සේවයේ යොදවා සිටි මෙම කාන්තාවන් සොල්දාදුවන්ගේ නිරන්තර ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් වී තිබේ.

ඊට අමතරව පුද්ගලයන් හත් දෙනෙකු අතුරුදහන් කරවීමේ චෝදනා වලටද 'හෙරිබෙතෝ වල්දෙස් අසිජ්' වරදකරු බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

'ඇදහිය නොහැකි අපරාධ'

දඬුවමට යටත් කෙරුණු අනෙක් හිටපු අණදෙන නිලධාරියකු වූ ෆ්‍රැන්සිස්කෝ රේයස් (Francisco Reyes Giron)විසින් එම හමුදා කඳවුරේදී කාන්තාවන් පහළොස් දෙනකු ලිංගික වහල්භාවයේ රඳවා ගෙන සිටීම සහ ඒ අතරින් එක් කාන්තාවක් සහ ඇයගේ දියණියන් දෙදෙනා ඝාතනය කිරීමට වරදකරු බව ප්‍රකාශ කෙරිණ.

Image copyright AP
Image caption ෆ්‍රැන්සිස්කෝ රේයස් (Francisco Reyes Giron)

'සේපර් සර්කෝ' (Sepur Zarco) හමුදා කඳවුරේ දී සිදු කෙරුණු අපරාධ වලට ගොදුරු වූ වින්දිතයෝ දශක ගණනාවක් යුක්තිය ඉල්ලා සටන් වැදුනෝය.

‘අපිව දූෂණය කළා, අපේ ස්වාමිපුරුෂයන් මරුවා, ඒක එහෙම නෙමෙයි නම් කෝ අපේ සැමියෝ? අපි දන්නේ නැහැ ඔවුන්ට මොකද වුනේ කියලා’ දුෂණයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි හැත්තෑ හැවිරිදි ඩෙමේසියා යාක් ප්‍රශ්න කරයි.

1980 දශකයේ 'සේපර් සර්කෝ' හමුදා කඳවුර තුල සිදු කෙරෙනු ඇදහිය නොහැකි අපරාධ වල විස්තර අධිකරණ නඩු විභාගයේ සාක්ෂි වලින් විස්තර කෙරිණ.