කිලෝමීටර් එකොළහක් දුර පිහිනූ රේස් අශ්වයා

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වෙරළේ තුරඟ තරග පුහුණු වීම් වල නිරතව සිටි අශ්වයෙක් මුහුදේ කිලෝ මීටර එකොළහක් දුර පිහිනීමෙන් පසු දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.

පුහුණු වීම් අතරතුර භීතියට පත් අශ්වයා මෙලෙස දියඹට පැය දෙකක් මුළුල්ලේ පිහිනා ගිය බවයි වාර්තා වන්නේ.

රෙබෙල් රෝවර් නම් මෙම අශ්වයා සිය කර උසට ජලය සහිත මුහුදු මායිමේ පුහුණු වීම් සිදු කරමින් සිටි අතර තුර තුරඟ තරගකරුවා ද පෙරලා දමා පිහිනීමට පටන් ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් පස් අවුරුදු වයසැති රෙබෙල් බේරා ගැනීමට සමත් විය.

දඩබ්බර හැසිරීම

රෙබෙල් බේරා ගැනීමට ඉදිරිපත් වූ ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයකු කියා සිටියේ මීටර් හතරක් පමණ ගැඹුරු මුහුදේ මෙම අශ්වයා ඉතා නිදහසේ පිහිනා යන ආකාරය තමන් දුටු බවයි.

රෙබෙල් රෝවර් සිය දඩබ්බර හැසිරීම් හේතුවෙන් තාවකාලිකව තුරඟ තරග පිටියෙන් වරක් ඉවත් කළ අශ්වයෙක් වන අතර නැවතත් තරග පිටියට පිවිසියේ මෑතකදීයි.

බීබීසිය ට අදහස් දැක්වූ රෙබෙල්ගේ පුහුණුකරු බ්‍රැඩ් ස්මිත් කියා සිටියේ අශ්වයින්ට යම් පමණකට පිහිනීමට හැකි නමුත් සාමාන්‍යයෙන් මෙතරම් දුරක් දක්ෂ ලෙස පිහිනීමේ හැකියාවක් තිබීම පුදුමය දනවන කරුණක් බවයි.

‘වෙන ඕනෙම අශ්වයෙක් වැඩිම වුනොත් මිනිත්තු විස්සක් විතර පිහිනාවි ඉන් පස්සේ උන් හති වැටෙනවා. ඉතින් මේ අශ්වයාට මෙහෙම පීනන්න පුළුවන් වෙන්නේ ඌට ඉතා නිරෝගී පෙනහළු තියෙන්න නිසා කියලයි මම හිතන්නේ’ රෙබෙල්ගේ පුහුණුකරු මෙම අපූරු වික්‍රමයට හේතු පැහැදිලි කිරීමට උත්සාහ කළේය.