අයිඑස් ප්‍රහාරයකින් 'ඉරාක ආරක්ෂක සාමාජිකයන් දහතුනක් මරුට'

Image copyright AP

බැග්ඩෑඩ් අගනුවර ආසන්නයට එල්ල වූ ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන්ගේ ප්‍රහාරයකට ගොදුරු වී හමුදා සහ පොලිස් සාමාජිකයන් දහතුන් දෙනකු මරුමුවට පත් වී ඇති බව ඉරාක බලධාරීහු පවසති.

අබු ග්රයිබ් ප්‍රදේශයේ පිහිටි හමුදා මූලස්ථානයක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි බලධාරීන් කියා සිටියේ.

මෝටර් රථ තුනක පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු විසින් පළමුව ප්‍රහාර එල්ල කොට තිබේ.

අනතුරුව කැරලිකරුවන් හා හමුදා මූලස්ථාන භූමියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මේ වන විට තත්වය පාලනය කොට ඇති බවට වාර්තා පළ වන අතර මූලස්ථානය පිහිටි දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇත.