දේශ සීමා අතර කොටුවුණු මිනිස් ජීවිත

Image copyright Getty

හත් දහසකට අධික සංක්‍රමණිකයන් ග්‍රීක සහ මැසිඩෝනියා දේශ සීමාව ආසන්නයේ පුද්ගලයන් එක්දහස් පන්සීයකට පමණක් සෙවන සැලසිය හැකි කඳවුරක සිරවී පීඩා විඳිමින් සිටින බව වාර්තා වෙයි.

බටහිර යුරෝපා රටවල් කරා නොනැවතී ගමන් කිරීම සඳහා සංක්‍රමණිකයන් විසින් ගෙන ගිය උද්ඝෝෂණ හමුවේ ග්‍රීසිය සහ මැසිඩෝනියා දේශ සීමාව අතර ඉදොමේනි කපොල්ල පැය විසිහතරක කාලයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Image copyright AFP

මේ අතර ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් සිය සංවිධානය දැඩි අවධානයක් යොමු කර බලා සිටින බව යුරෝපා කොමිසම පවසයි.

යුරෝපා කොමිසම විසින් මෙම ප්‍රකාශය නිකුත් කළේ ඊයේ දිනයේ සංක්‍රමණිකයන් විසින් සිදු කළ උද්ඝෝෂණයකට මැසිඩෝනියා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උන්ඩ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවයි.

සංක්‍රමණිකයන්ගෙන් පිරී ඉතිරී ගිය කඳවුරේ ඇතැම් පවුල් මේ වන විට සතියක පමණ කාලයක් සිරවී සිටින අතර රාත්‍රිය පුරා කඩා හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් එළිමහනේ සිටින පිරිස් දැඩි ලෙස පීඩා විඳින බවයි වාර්තා වෙන්නේ.

'ඔවුන් කඳවුරෙන් පිටතට යන්න බයයි'

Image copyright Reuters

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ හදිසි කළමනාකරණ නිලධාරිණියක බීබීසියට කියා සිටියේ පුද්ගලයන් හතර දෙනෙකුට සෙවන දිය හැකි තාවකාලික කූඩාරම් වල මේ වන විට සංක්‍රමණිකයන් දස දෙනෙකු පමණ ජීවත් වන අතර කඳවුරේ දැඩි සෞඛ්‍ය ගැටලු හට ගෙන ඇති බවයි.

Image copyright Reuters

‘මේ වන විටත් රාත්‍රී කාලයේ දී අංශක දහයක පමණ සීතලක් තියෙනවා, ඊට අමතරව දැඩි වැසි කඩා හැලෙනවා, එළිමහනේ නිදා ගන්න සංක්‍රමණිකයෝ වැස්සට තෙමෙනවා, ගොඩාක් දරුවෝ උණෙන් පීඩා විඳිනවා. මේ විදිහට ගියොත් මේ මිනිස්සු නිරන්තරයෙන් දැඩි ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.’ රතු කුරුස සංවිධානයේ හදිසි කළමනාකරණ නිලධාරිණියක වන කරොලයින් හේග් පැවසුවාය.

අසාධ්‍ය තත්වයේ පසුවන සංක්‍රමණිකයන් පවා කඳවුරෙන් පිටතට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ දේශ සීමාව තරණය කිරීමේ පෝලිම් වල තමන්ට හිමි ස්ථානය අහිමි වේ යැයි බියෙන් බවයි ඇය තවදුරටත් කියා සිටියේ.

Image copyright Reuters

ඉදොමේනි කපොල්ල ආසන්නයේ ග්‍රීක හමුදා විසින් තවත් තාවකාලික කඳවුරු තුනක් පිහිටුවීමට කටයුතු කළද මේ වන විට එම කඳවුරු සියල්ල පුද්ගලයන් දෙදහසකට අධික පිරිසකින් පිරී ගොස් ඇති බවයි කරොලයින් හේග් පවසන්නේ.

ප්‍රංශ සරණාගත කඳවුරක් ඉවත් කෙරෙයි

මේ අතර ප්‍රංශ කාලෙයි තොටුපල අසල පිහිටා තිබෙන ‘ජංගල්’ නමින් හඳුන්වන සරණාගත කඳවුර ඉවත් කිරීමට පොලිස් බල ඇණි පියවර ගනිමින් සිටියි.

ඊයේ රාත්‍රිය පුරා සංක්‍රමණිකයන් සහ ප්‍රංශ පොලිසිය අතර ගැටුම් ඇතිවූ අතර මාර්ග බාදක යොදා පෙළගැසී සිටි පොලිස් කණ්ඩායම් කඳවුරු වාසීන්ට ඉවත් වන ලෙසයි නියෝග කළේ.

Image copyright AP

මේ වන විට බලධාරීන් බුල්ඩෝසර් යොදා ගෙන කඳවුරේ සුන්බුන් ඉවත් කිරීමේ යෙදී සිටිති.

දරුවන් රැක ගනිමු ව්‍යාපාරයේ ක්‍රියාධාරිනී ජිනී හොවෙල්ස් පැවසුවේ ප්‍රංශ බලධාරීන් පමණ ඉක්මවා බලය යොදවන බවයි.

ප්‍රංශ බලධාරීන් උත්සාහ කරන්නේ කඳවුර අසල පිහිටුවා ඇති කන්ටේනර් වල සංක්‍රමණිකයන්ට සෙවන සැපයීමටයි.