දකුණු අප්‍රිකාවේ ජනපතිට දූෂණ චෝදනා 738ක්

Image copyright

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන වංචා සහ දූෂණ චෝදනා 738 ක් සම්බන්ධයෙන් නැවත විභාග සිදු කරන මෙන් ඉල්ලා එරට විපක්ෂය අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.

2009 වසරේ මෙම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කළ පැමිණිල්ල මෙභෙයවන්නන් තාර්කික ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දෙන ජනාධිපති ජේකොබ් සූමාගේ කාර්යාලය කියා සිටින්නේ ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත් 2009 වසරේ අධිකරණ තීන්දුව දේශපාලන බලපෑම් මත ඉදිරිපත් කෙරුණක් බව කියා සිටින දකුණු අප්‍රිකාවේ විපක්ෂය එමගින් ජේකොබ් සූමාට නැවතත් ජනාධිපති ධුරයට පත් වීමට මග පෑදුනු බව විශ්වාස කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුතු අවි ආයුධ වෙළඳ ගනුදෙනුවක දී අල්ලස් ලබා ගත් බවට ජනාධිපති සූමාට එල්ල වී ඇති චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය විසින් මේ වන විට ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව පහළ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.