ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘සුපර් ටියුස්ඩේ’ ජය ට්‍රම්ප් සහ හිලරි ට

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දිනා ගැනීම පිණිස පක්ෂ අභ්‍යන්තරයේ සිය ජනප්‍රියත්වය උරගා බලමින් සිටින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ ඩිමොක්ක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් (Hillary Clinton) අඟහරුවාදා පැවති මුලික චන්ද විමසීම වල දී ඉදිරියට පැමිණ සිටිති.

ඇමරිකානු දේශපාලනය තුළ මේ ඡන්ද විමසීම පැවති අඟහරුවාදා දිනය හඳුන්වනු ලැබුවෙ ‘සුපර් ටියුස්ඩේ’ නමින්.

Image caption මාර්කෝ රුබියෝ, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙඩ් කෘස්

ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් වී නැති වුවද රිපබ්ලිකන් පක්ෂ ප්‍රචාරක වැඩසටහන් වලදී ඉදිරියෙන් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා ජනපද හතක් දිනා ගැනීමට සමත් වී ඇත. එම පක්ෂයෙන්ම ඔහුට ප්‍රතිවාදීව තරඟ වැදුණු ටෙඩ් ක්රූස් (Ted Cruz) ට දිනා ගත හැකි වුයේ ජනපද දෙකක් පමණි. මාර්කෝ රුබියෝ (Marco Rubio) ට ජයගත හැකි වී ඇත්තේ එක් ජනපදයකි.

'හිලරිට බැරිවුණා'

ෆ්ලොරිඩා ජනපදයේ පාම් බීච් හිදී මාධ්‍යවේදීන් සමග අදහස් දැක්වූ ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් ගේ පොරොන්දු පිළිබඳව උපහාසයෙන් යුතුව අදහස් දැක්වීය.

“මම බලාගෙන හිටිය හිලරි ගේ කතාව. ඇය කියනව වැටුප් ප්‍රමාණවත් නැහැ, හැම දේම බොහොම දුර්වලයි, ඒ වගේම හැම දෙයක්ම ඉතා නරක තත්වයෙන් තියෙන්නෙ, ඒ නිසා අපි ඒවා හොඳ තත්වයට පත් කරනව කියල. හිලරි එතෙන්ට ගිහිං දැන් ගොඩක් කල්. තවමත් ඇයට බැරිවුණා නම් ඒ වැරැද්ද හදන්න ඔබ හිතනවද ඊළඟ අවුරුදු හතරෙදි එයා ඒක කරයි කියල?. තත්වය තවත් නරක අතට හැරෙන එකයි වෙන්නෙ” යනුවෙන් ඔහු පැවසීය.

Image copyright
Image caption හිලරි ගේ ප්‍රතිවාදියා බර්නි සැන්ඩර්ස් ය

ඇමරිකාව පරිපූර්ණ රටක් කරන බවට හිලරි ක්ලින්ටන් පවසන්නේ කිනම් දෙයක් පිළිබඳව දැයි ප්‍රශ්න කරණ ට්‍රම්ප් තමා සමග එක්ව ඇමරිකාව නැවතත් ලොව බලවත් ම රට බවට පත් කිරීම ඊට වඩා වැදගත් බවයි ප්‍රකාශ කළේ.

ඩිමොක්ක්‍රටික් පක්ෂ ප්‍රචාරක වැඩසටහනේ ඉදිරියෙන් සිටින්නේ හිලරි ක්ලින්ටන්ය. ඇය ද ජනපද හතක් ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතරින් ටෙක්සාස් ජනපදය දිනා ගැනීම ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙසටයි සැලකෙන්නේ. එහෙත් ඇගේ පක්ෂයේ ම ඇයගේ ප්‍රතිවාදියා ලෙස තරඟ වැදුණු බර්නි සැන්ඩර්ස් (Bernie Sanders) ට දිනා ගත හැකි වූයේ ඔහු නියෝජනය කරන ‘වර්මොන්ට්’ ජනපදය ඇතුළු ජනපද හතරක් පමණි.

'බාධක බිඳ දැමුවා'

ෆ්ලොරිඩා ජනපදයේ මියාමි හි දී හිලරි ක්ලින්ටන් තමන්ගේ අධාරකරුවන් ගෙන් ඉල්ලා සිටියේ ප්‍රචාරක ව්‍යාපාරය නොනවත්වා කරගෙන යන ලෙසයි.

“අද මුළු රට පුරාම ඩිමොක්ක්‍රටික් පාක්ෂිකයෝ එකතු වෙලා බාධක බිඳ දමල තියනව. දැන් අපට එක්ව නැගී සිටින්න පුළුවන්. අපි හැමෝම ස්වේච්ඡාවෙන් මෙතෙක් ආව වගේ ඉදිරියට යන්න ඕන. ඔබට පුළුවන් හැම දෙයක්ම කරන්න ඕන. ඔබේ අසල්වැසියන්ට කතා කරන්න ඕන. මොකද මේ රට අපි හැමෝටම අයිතියි. ඉහලින් ඉන්න අයට විතරක් නොවෙයි” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

Image copyright Reuters
Image caption හිලරි තම සැමියා වූ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සමග

ක්ලින්ටන් ගේ ඩිමොක්ක්‍රටික් ප්‍රතිවාදියා බර්නි සැන්ඩර්ස් තමන්ගේ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ මේ ප්‍රචාරක වැඩසටහන ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා පමණක් නොවන බවයි. ශ්‍රේෂ්ඨ රටක් විදියට තිබුණු ඇමරිකාව නැවතත් ඒ තත්වයට ගෙන ඒම සඳහා තමන් සමග එකතුවන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ට්‍රම්ප් ගේ පක්ෂය තුළ ඔහුට සිටින ප්‍රබලම ප්‍රතිවාදියා ටෙඩ් කරූස් (Ted Cruz) තම පක්ෂයේ අනිකුත් අපේක්ෂකයන් ගෙන් ඉල්ලා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම සඳහා තමන් හා එක්වන ලෙසටයි. එහෙත් තවත් අපේක්ෂකයෙකු වන මාර්කෝ රෝබියෝ (Marco Rubio) ගේ ආධාර කරුවන් පැවසුවේ ඔවුන් නොනවත්වා මාර්කෝ ට සහය පළ කරන බවයි.