පවුල් අවුල් ලිහන කිරිකැටි විවාහ තහනම්

පාකිස්තානයේ දස අවුරුදු වයසැති දැරියක් සහ අවුරුදු දාහතරේ පසුවන පිරිමි ළමයෙකු අතර විවාහයක් සිදු කිරීමට සැරසුණු පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

දරුවන් දෙදෙනාගේ පවුල් අතර ඇතිවූ ආරවුලක් විසඳීමේ අරමුණෙන් මෙම පුද්ගලයන් විසින් බාල වයස්කාර විවාහය සිදු කිරීමට උත්සාහ කරනු ලැබ ඇති බවයි පොලිසිය පවසන්නේ.

දැරියගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව ඝාතනය කළ බවට පිරිමි ළමයාගේ පවුලේ ඥාතීන් චෝදනා කිරීමෙන් පසුවයි ප්‍රාදේශීය ගම්සභාව විසින් ආරවුල විසඳීමේ මාර්ගයක් ලෙස මෙම විවාහය සිදු කරන ලෙස තීන්දු කරනු ලැබ තිබෙන්නේ.

බාලවයස්කාර විවාහ සහ මුදල් ගනුදෙනු වලට හිලව්වක් වශයෙන් ගැහැණු දරුවන් මනමාලියන් ලෙස ලබා දීම පකිස්තානයේ නීතියට පටහැනි නමුත් ග්‍රාමීය පෙදෙස් වලින් තවමත් මෙවැනි සිදුවීම් වාර්තා වෙයි.