ගැඹුරු මුහුදේ සැරිසරන 'කැස්පර්'

Image copyright Twitter

මෙතෙක් ඇස නොගැසුණ මුහුදු බූවල්ලන් විශේෂයක් සොයා ගැනීමට ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත් වූහ.

ඉතා ළා පැහැයක සමක් සහිත මෙම බුවල්ලන් විශේෂය මුහුදු පතුලේ පිහිනන විට ඇසට නොපෙනෙන තරම් පරිසරයට අනුවර්තනය වී ඇති සත්ව විශේෂයක් බවයි විද්‍යාඥයන් විස්තර කරන්නේ.

මීටර් හාරදහසක් පමණ ගැඹුරු මුහුදේ පිහිනමින් සිටි මෙම කුඩා බූවල්ලා මධ්‍යම පැසිෆික් මුහුදේ ගවේෂණයක නිරත වෙමින් සිටි විද්‍යාඥයන් කණ්ඩායමකට හසු වී තිබේ.

ගැඹුරු මුහුද ගවේෂණය සඳහා සාගර විද්‍යාඥයන් විසින් භාවිතා කරනු ලබන දුරස්ථ පාලකයක් මගින් මෙහෙයවිය හැකි කැමරාවක් සහිත කිමිදුම් උපකරණයක් මාර්ගයෙන් මෙම නව විශේෂයට අයත් කුඩා බූවල්ලගේ ඡායාරූප ගැනීමටත් වීඩියෝ පටයක් ලබා ගැනීමටත් එම විද්‍යාඥයන් කණ්ඩායමට හැකි විය.

ඇසට නොපෙනෙන මේ බුවල්ලන් විශේෂය මේ වන විටත් විද්‍යා ලෝලීන් අතර සුරතල් හොල්මනක් ලෙස ප්‍රසිද්ධියට පත් කාටූන් චරිතයක් වන 'කැස්පර්'ගේ නමින් හඳුන්වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.