ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තුර්කි ආණ්ඩුවත් මාධ්‍යය දඩයමේ

තුර්කියේ මුල් පෙලේ පුවත්පතක් වන 'සමාන්'(Zaman) රජයේ පාලනය යටතට ගැනීමට නිකුත් කෙරුණ අධිකරණ තීන්දුවෙන් පැය කිහිපයකට පසු පොලිසිය විසින් එම පුවත්පත් කාර්යාලය වටලනු ලැබුණි.

පොලිසිය සිය ඉස්තාන්බුල් කාර්යාලයට කඩා වැදීම වැලක්වීමට උත්සාහ ගත් පුවත්පත් කාර්යමණ්ඩලය ගොඩනැගිල්ල ඉදිරිපිටට රැස්ව සිටි අතර පොලිසිය එම පිරිස් ඉවත් කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

Image copyright AP

සමාන් පුවත්පත ‘හිස්මෙත්’ (Hizmet movement) ව්‍යාපාරය සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බවට තුර්කි රජය චෝදනා කරයි.

තුර්කි රජය පවසන්නේ පවසන්නේ ‘හිස්මෙත්’ යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ උත්සාහය වන්නේ තුර්කි ජනාධිපති රීසෙප් තයියිප් එර්දෝගන්ගේ ආණ්ඩුව පෙරළා දැමීම බවයි.

‘හිස්මෙත්’ ව්‍යාපාරය යනුවෙන් හඳුන්වන්නේ මේ වන විට තුර්කියෙන් පලා ගොස් ඇමරිකාවේ රැකවරණය ලබමින් ජීවත්වන ෆෙදුල්ලා කියුලාන් නම් තුර්කි ආගමික නායකයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන දේශපාලන නැගිටීමකි.

Image copyright AP

මීට ඉහතදී ෆෙදුල්ලා කියුලාන් තුර්කි ජනාධිපති රීසෙප් තයියිප් එර්දෝගන්ට පක්ෂපාතීව ක්‍රියා කළත් පසුව ඇතිවූ ගැටුමකින් ඔවුන් විරසක විය.

හේතු පැහැදිලි කිරීමකින් තොරයි

මේ වන විට හිස්මෙත් ව්‍යාපාරයට සම්බන්ධ සාමාජිකයන් බොහෝ දෙනකු පොලිස් අත්අඩංගුවේ පත් වන අතර තුර්කි රජය විසින් ජනමාධ්‍යවේදීන් දැඩි ලෙස මර්ධනය කරනු ලබන බවට ජාත්‍යන්තරයේ විවේචනයට පත් වෙමින් සිටියි.

ඊයේ (සිකුරාදා) දිනයේ දී අධිකරණය විසින් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව හය ලක්ෂ පනස් දහසක් පමණ ජනතාව අතර ප්‍රචලිත ව පවතින සමාන් පුවත් සේවාව රජයේ පාලනය යටතට ගැනීමට නියෝගයක් දෙනු ලැබීය.

Image copyright AP

පසුව සමාන් පුවත්පත රජය යටතට ගැනීමට විරෝධය දැක්වූ කාර්ය මණ්ඩලයේ ජනමාධ්‍යවේදීන්ට සහ පුවත්පතට සහය දැක්වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් අධි බලැති ජල ප්‍රහාර සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

පසුගිය වසරේ ද හිස්මෙත් ව්‍යාපාරයට සහය දැක්වූ බව පවසමින් තුර්කියේ රූපවාහිනී සේවා දෙකක් සහ පුවත් පත් දෙකක් රජයේ පාලනය යටතට ගැනීමට තුර්කි බලධාරීන් පියවර ගනු ලැබීය.