'සරුංගල් යැවීම තහනම්'

Image copyright bbc

පකිස්තානයේ අට දහසකට අධික සරුංගල් සහ නූල් තොගයක් රාජසන්තක කොට මහජනතාව ඉදිරියේ විනාශ කර දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ වසන්ත කාලයේ දී සමරනු ලබන ‘බසාන්ත්’ උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වන්නේ සරුංගල් යැවීමේ තරග පැවැත්වීමයි.

පකිස්තානයේ ෆයිසාලාබාද් නගරයේදී මෙලෙස මහජනයා ඉදිරියේ සරුංගල් තොග පිළිස්සීමට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කර තිබෙන්නේ අනතුරු සහිත සරුංගල් තරග වලට විරෝධය පෑමේ පියවරක් ලෙසයි.

Image copyright Getty

පන්ජාබ් ප්‍රාන්තයේ 'බසාන්ත්' උත්සවය වෙනුවෙන් සරුංගල් යැවීම මේ වන විට සංස්කෘතික අංගයකින් එහා ගිය ජය ගැනීම පමණක් අරමුණු කර ගත් ඉතා තීව්‍ර තරග බවට පත් වී ඇත.

සරුංගල් තරග තහනම්

එවැනි තීව්‍ර තරංග වලදී සරුංගල් කැඩී යාම වැලක් වීමට ඉතා ඝන ද්‍රව්‍ය වලින් නිමවූ නූල් පන්දු සහ වීදුරු කුඩු කර මැලියම් සමග මුහු කර තනා ගන්නා මිශ්‍රණයක බහාලූ නූල් පන්දු භාවිතයෙන් අනෙක් තරංග කරුවන්ගේ සරුංගල් බිම හෙලීමේ උපක්‍රම ද භාවිතා කෙරෙයි.

Image copyright Getty

මෙවැනි හේතු නිසා සරුංගල් තරග වලදී බොහෝ පුද්ගලයන්ට මරණීය තුවාල සිදු වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙනයි රජය විසින් පන්ජාබ් ප්‍රාන්තයේ වසන්ත උත්සව සමයේ සරුංගල් තරග තහනම් කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

මීට අමතරව පන්ජාබ් ප්‍රාන්තයේ මුල්තාන් නගරයේ කම්හලක සිදු කළ පොලිස් වැටලීමකින් පනස් දහසකට අධික සරුංගල් තොගයක් රාජසන්තක කර තිබේ. කෙසේ වෙතත් රජයේ සරුංගල් තහනම් පන්ජාබ් ප්‍රාන්ත වැසියන්ගේ දැඩි අවඥාවට ලක්ව ඇති බවයි පකිස්තානයෙන් වාර්තා වන්නේ.