නිරෝගී දත් ගලවන ‘භයංකාර දත් දොස්තර’

Image copyright AP
Image caption දන්ත වෛද්‍ය ජකොබස් වෑන් නියෙරොප්

සිතා මතාම රෝගීන්ගේ මුකයේ නිරෝගී කොටස් ඉවත් කිරීමේ චෝදනා ලද නෙදර්ලන්ත දන්ත වෛද්‍යවරයෙකු මධ්‍යම ප්‍රංශයේ දී අධිකරණය ඉදිරියට කැඳවනු ලැබීය.

'භයංකාර දත් දොස්තර'("Dentist of Horror" ) යනුවෙන් ජනමාධ්‍ය වාර්තා කළ මෙම දන්ත වෛද්‍යවරයා නමින් ජකොබස් වෑන් නියෙරොප් (Jacobus van Nierop).

ප්‍රංශයේ ගම්බද පලාතක දන්ත ශල්‍යාගාරයක් පවත්වා ගෙන ගිය මෙම පුද්ගලයා විසින් රෝගීන් දොළහකට අධික පිරිසකගේ නිරෝගී දත් ඉවත් කිරීම් සහ දරුණු තුවාල සිදු කිරීමේ වරදට චෝදනා ලබා සිටියි.

සිය දන්ත ශල්‍යාගාරයේ සිදු කරන ලද අපරාධ හෙළි වීමෙන් පසු 2014 වසරේ කැනඩාවට පලා ගොස් සිටි මෙම දන්ත වෛද්‍යවරයා මානසික රෝගයකින් පෙලෙන බවයි ඔහුගේ නීතිඥයන් පවසන්නේ.

නිරෝගී දත් ගැලවීම

Image copyright AP
Image caption ජකොබස්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් අධිකරණයේ

කෙසේ වෙතත් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා ප්‍රංශ අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් මුදල් වංචා සහ අඩන්තේට්ටම් යන වැරදි යටතේ වසර දහයක සිර දඬුවම් නියම කරනු ලැබෙයි.

සිය මුඛයේ පිරවීමට බඳුන් කර තිබූ දත් වල පිරවුම් හේතුවක් නොමැතිව ඉවත් කර ඒ වෙනුවට ඉතා මිල අධික පිරවුම් සිදු කිරීමට ඔහු ක්‍රියා කළ බවයි ජකොබස්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් කියා සිටියේ.

තවත් රෝගියෙකු චෝදනා කළේ මුඛයේ හිරිවැටීම් සිදු කිරීමට ඔහු විසින් ඉතා අධික බලයක් සහිත එන්නත් භාවිතා කරනු ලැබූ අතර එමගින් හානි සිදු වන විදුරුමස් වලට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඊට අමතරව මෙම දන්ත වෛද්‍යවරයා සිය නිරෝගී දත් හේතු පැහැදිලි කිරීමකින් තොරව ගලවා දැමූ බවයි රෝගීන් දස දෙනෙකුට අධික පිරිසක් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ.