ලූලා අත්අඩංගුවට ගන්න - බ්‍රසීල විමර්ශකයෝ ඉල්ලති

Image copyright AFP
Image caption ගුවාරුජා නුවර සුඛෝපභෝගී තට්ටු නිවාසයක හිමිකාරත්වය සැඟවූ බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති ලුවිස් ඉනාශියෝ ලූලා ද සිල්වා අත්අඩංගුවට ගන්නා මෙන් බ්‍රසීලයේ නීති නිලධාරීන් ඉල්ලීමක් කර තිබේ.

ගුවාරුජා නුවර සුඛෝපභෝගී තට්ටු නිවාසයක හිමිකාරත්වය සැඟවීම සම්බන්ධයෙන් නීති නිලධාරීහු පසුගියදා හිටපු ජනපතිවරයාට එරෙහිව නඩු පැවරූහ.

හිටපු ජනාධිපතිවරයා අදාළ පරීක්ෂණයට බාධා කිරීමට උත්සාහ කිරීමට ඉඩ තිබෙන බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බව විමර්ශකයන්ගේ නිර්දේශයයි.

පොලිසිය විසින් එම නිර්දේශය ක්‍රියාත්මක කරනු ලැබීමට නම් එයට අධිකරණයේ අනුමැතිය පළ විය යුතුය.

අදාළ තට්ටු නිවාසයේ හිමිකාරිත්වය පිළිබඳව පමණක් විමර්ශනයේ පූර්ණ අවධානය පල වී තිබෙන බවයි, ප්‍රධාන විමර්ශකයා පවසන්නේ.

තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හැත්තෑ හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ කිසිදු අවස්ථාවක අදාළ තට්ටු නිවාසය තමන් සතුව නොතිබුන බවයි.

සිය සේවාදායක හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත 'මාධ්‍ය ප්‍රචාරයක්' දියත්ව ඇති බවයි, ඔහුගේ නීතිවේදියා පවසන්නේ.

හිටපු ජනාධිපති ලූලා ද සිල්වා එම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේ ඒ සඳහා මුදල් ආයෝජනය කළ නමුත් ඉන් අනතුරුව ඔහු එම මුදල් යළි ලබාගෙන ඇති බවත් නීතිවේදියා පවසයි.