පාකිස්තානය ‘විස්සයි විස්ස’ තරඟාවලියට

Image copyright AFP

දින ගණනාවක් පැවති අවිනිශ්චිතභාවය නිම කරමින් පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘විස්සයි විස්ස’ ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවට යාම සඳහා පාකිස්තාන් ආණ්ඩුවේ අනුමැතිය ප්‍රකාශයට පත් කෙරුණි.

පාකිස්තාන් කණ්ඩායම සහභාගී වෙන පළමු තරඟය මාර්තු 19 වෙනි දින හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ 'ධර්මශාලා' නගරයේ පැවැත්වීමට මුලදී සැලසුම් කර තිබුනත් හින්දු අන්තවාදී කොටස් කෙරෙන් එල්ල කෙරුණ තර්ජන වලින් පසුව එම ක්‍රිකට් සංචාරය අවිනිශ්චිත තත්වයකයි පැවතුනේ.

පාකිස්තාන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම ඉන්දියානු සංචාරයට සහභාගී වෙන අතර ක්‍රීඩක ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ලද සහතික කිරීම් වලින් අනතුරුව නව තීන්දුව ගත් බවයි පාකිස්තාන් නිලධාරීන් පවසන්නේ.

Image copyright AFP

පාකිස්තානයේ ඉල්ලීම වී තිබුණේ ධර්මශාලා අනතුරුදායක හෙයින් තරඟය ‘කොල්කටා’ නගරයට මාරු කරන ලෙසයි.

කොල්කටා නගරයෙන් ඉතාම දැඩි ආරක්ෂණ සහතිකයක් ලැබීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විස්සයි විස්ස තරඟයට සහභාගී කරන බවයි පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

නව සැලසුම් අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර පළමු විස්සයි විස්ස තරඟය මාර්තු 19 වෙනි දින කොල්කටා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.