නියමුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ රහස්‍යභාවය 'ලිහිල් කළ යුතුයි'

Image copyright AP
Image caption ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ ගැටුණු ජර්මන්වින්ග්ස් යානයේ පුද්ගලයන් 150 දෙනක් ගමන් ගත්හ

ගුවන් නියමුවන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් පවතින රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ විධිවිධාන ලිහිල් කරන මෙන් පසුගිය වසරේ සිදු වූ 'ජර්මන්වින්ග්ස්' ගුවන් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ප්‍රංශ විමර්ශන කණ්ඩායම ඉල්ලා සිටියි.

එයාර් බස් A320 වර්ගයේ 'ජර්මන්වින්ග්ස්' ගුවන් යානය 2015 වසරේ මාර්තු 24 වනදා අනතුරට පත් විය.

ඉන් සති කීපයකට පෙර මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන ලෙස එහි සහායක නියමු අන්ද්‍රේයාස් ලුබිට්ස්ට වෛද්‍යවරයෙක් දැඩි ඉල්ලීමක් කොට තිබේ.

එසේ නමුත් ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම දැනුවත් කොට නොමැති බවයි ගුවන් අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අවසාන වාර්තාවේ දැක්වෙන්නේ.

Image copyright EPA
Image caption සහායක නියමු අන්ද්‍රේයාස් ලුබිට්ස්

සහායක නියමු අන්ද්‍රේයාස් ලුබිට්ස් සිතාමතාම යානය කඳුවැටියට යොමු කර ඇති බව විමර්ශකයන්ගේ විශ්වාසය වී තිබේ.

ඉහත කී ප්‍රංශ විමර්ශන කණ්ඩායමේ උප ප්‍රධානී අර්නෝද් දෙස්ජාර්ඩින් පවසන්නේ සහායක ගුවන් නියමුවා මානසික ආබාධයකින් පෙළුණු නමුත් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ හෙළි කිරීමට නොහැකි වූ බවයි.

ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ ගැටුණු ජර්මන්වින්ග්ස් යානයේ මගීන් 150 දෙනකු ගමන් ගත් අතර අනතුරින් කාර්යමණ්ඩලය ඇතුළු එහි සිටි සියලුම දෙනා මරුමුවට පත් විය.

අනතුරට ලක් වන විට ගුවන් යානය බාර්සිලෝනා සිට ඩසල්ඩෝෆ් දක්වා පියාසර කරමින් තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර