ඉන්දීය ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙක් අශ්වයකුට 'පහර දෙයි'

Image caption පශුවෛද්‍ය නිලධාරීන් විසින් අශ්වයාට ප්‍රතිකාර ලබා දී ඇත

උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අශ්වයකුට පහර දුන් බව පැවසෙන ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයකුට එරෙහිව ඉන්දීය පොලිසිය පැමිණිල්ලක් ගොනු කොට තිබේ.

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර ප්‍රාන්ත දේශපාලනඥයකු වන ගනේෂ් ජෝෂි අශ්වයාට දණ්ඩකින් පහර දී ඇති බවට චෝදනා එල්ල වේ.

පහර කෑ ශක්තිමාන් නමැති අශ්වයාගේ පාදයක් ස්ථාන කීපයකින් බිඳී ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන අවශ්‍යතාවයන් මත තමාට චෝදනා එල්ල කරන බවයි ගනේෂ් ජෝෂි පවසන්නේ.

කිසිවකු විසින් අශ්වයාගේ සෑදලය අදිනු ලැබූ බවත් ඒ සමග බිම ඇද වැටී අශ්වයාගේ පාදය බිඳී ඇති බවත් ඔහු කියා සිටියේය.

කොංග්‍රස් පක්ෂ පාලනයේ පවතින ප්‍රාන්ත ආණ්ඩුවට එරෙහිවයි උද්ඝෝෂණය සංවිධානය කොට ඇත්තේ.

පශු වෛද්‍ය නිලධාරීන් විසින් අශ්වයාට ප්‍රතිකාර ලබා දී ඇති අතර අශ්වයා අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.

අශ්වයාට පහර දීමේ සිදුවීම ඉන්දියාව තුළ දැඩි කතාබහට ලක් වී ඇති අතර සමාජ ජාල ඔස්සේ ඇතැමෙක් සිය කෝපය පළ කර සිටිති.