ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රිදවුම් ලබන වැන්දඹු කාන්තාවෝ

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

තම ස්වාමිපුරුෂයන් ගේ මරණයෙන් පසු වැන්දඹු බවට පත්වන ආසියානු කාන්තාවන්ට සහය වීම සඳහා එංගලන්තයේ ජීවත් වන ආසියානු කාන්තාවන් පිරිසක් කණ්ඩායමක් ලෙස සංවිධානය වී සිටිති.

බීබීසීයේ පූනම් තනේජා ගේ වාර්තාවකට අනුව ‘යුවර් සහේලි’ නම් වූ මේ කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ දකුණු ආසියානු ප්‍රජාව තුළ වැන්දඹු කාන්තාවන් පිලිබඳ ඇති ඍණාත්මක ආකල්ප වලට එරෙහිව එම කාන්තාවන් ගේ මානසිකත්වය වර්ධනය කිරීමයි.

Image caption ‘යුවර් සහේලි’ නමැති කණ්ඩායම ආරම්භ කළ ජාස් සයිකෝන් (Jas Saikhon) වැන්දඹු කාන්තාවක් වන රාජ් මාලි සමග

ආසියානු ජන ප්‍රජාව තුළින් වැන්දඹුවකට එල්ලවන පීඩනය කෙතරම් ද යන්න ඇතැම් විට බාහිර ලෝකය ට විවෘත නොවේ.

ජාස් සයිකෝන් (Jas Saikhon) විසින් මේ ‘යුවර් සහේලි’ නමැති කණ්ඩායම ආරම්භ කළේ වැන්දඹුවක් ලෙස ඇය අත්විඳි පීඩාකාරී අත්දැකීම් හේතුවෙනි.

“සමහර මිනිස්සු කැමතිවුනේ නැහැ මහත්තය මැරුණට පස්සෙ මම අඳින පළඳින විදියට, ඒ වගේම මම මුහුණ ‘මේකප්’ කරන විදියට. මිනිස්සු මට වචනයෙන් කිසි දෙයක් කිව්වෙ නැහැ. එත් බලන විදිහ හොඳ නැහැ. සමහර වෙලාවට කරන දේවල් හිතට වේදනාව ගෙනෙනව වචන වලට වැඩිය” යනුවෙන් ඇය පැවසුවාය.

ඇය විවාහ වී වසර විස්සක් ගතවූ පසු, ඇයට වයස 40 ක් ව සිටියදීයි ඇය වැන්දඹුවක් පත් වූයේ. ස්වාමියා මියගිය පසු එක් වරම සමාජය ඇය කෙරේ දැක්වූ ආකල්ප වෙනස්වූ අකාරය පිලිබඳ කම්පනයකට පත්වීම හේතුවෙන් ‘යුවර් සහේලි’ නමැති කණ්ඩායම ආරම්භ කළ බවයි ඇය ප්‍රකාශ කළේ.

‘යුවර් සහේලි’ කණ්ඩායම පිලිබඳ තවත් තොරතුරු වලටඉහත හඬපටයෙන් සවන්දෙන්න.