ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුධ අපරාධකරු කර්දිෂ්ට වසර හතළිහක සිරදඩුවම්

ජන සංහාරය සහ සමුලඝාතනය ඇතුළු අපරාධ වලට වරදකරු බව ඔප්පු වූ හිටපු බොස්නියානු සර්බ් නායක රදොවාන් කරදිෂ්ට හේග් නුවර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් වසර හතළිහක සිර දඬුවමක් ලබා දී තිබේ.

තම තීරණය දැනුම් දෙමින් විනිසුරු ඕ ගොන් ක්වෝන් (O-Gon Kwon) පැවසුවේ රදොවාන් කරදිෂ් ඉහත කී අපරාධ වලට වගකිවයුතු බවයි.

චෝදනා වලට පෞද්ගලිකව වගකිවයුතු වීම, ඝාතනය කිරීම, සාමාන්‍ය ජනතාවට නීති විරෝධී ප්‍රහාර එල්ල කිරීම සහ නීතිය උල්ලංඝනය කිරීම, 71 වන වගන්තිය යටතේ යුද්ධය ට අදාළ නීති රීති කඩ කිරීමක් වන අතර එය මානව සංහතියට එරෙහි අපරාධයක්.

කරදිෂ් ප්‍රකාශ කර සිටියේ චෝදනාවලට තමන් නිවැරදි කරු බවයි.

බොස්නියානු සර්බ් ජාතිකයන් ගේ නායකයා වූ රදොවාන් කරදිෂ්ගේ (Radovan Karadzic) යුධ අපරාධ සම්බන්ධ නඩු විභාගය සැලකෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුධ අපරාධ අධිකරණයක දී පැවැත්වෙන වඩාත් වැදගත්ම නඩු විභාගය ලෙසටයි.

Image copyright AFP

දැනට වයස අවුරුදු හැත්තෑවේ පසු වන කරදිෂ් අතිශය විනාශකාරී ලෙස සිදු වූ යුගෝස්ලාවියාවේ බිඳ වැටීමෙන් පසු අධිකරණය හමුවට එන වඩාත්ම ඉහළ මට්ටමේ දේශපාලනඥයා වෙයි.

ජන සංහාරය, සහමුලින් විනාශ කිරීම, බලහත්කාරයෙන් ඉවත් කිරීම, සහ මනුෂ්‍යත්වයට එරෙහි ව සිදු කළ අපරාධ යන පදනම යටතට වැටෙන එකිනෙකට වෙනස් වූ චෝදනා එකොළහකට අධිකරණය හමුවේ පිළිතුරු සැපයීමට ඔහුට සිදු විය.

කරදිෂ් ගේ තර්කය වන්නෙ සිදු කරන ලද සියළු ඝාතනය කිරීම් සහ අපරාධ නොහික්මුණු පුද්ගලයන් විසින් සිදු කළ ඒවා මිස තමන්ගේ අනසක යටතේ පැවති හමුදාව විසින් කළ ඒවා නොවන බවයි.

පසුගිය අවුරුදු අටක කාලයක් තිස්සේ පැවැත්වෙන මේ නඩු විභාගයේ දී අධිකරණය ඉදිරියේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ද ඔහුමය.

1995 දී ඇමරිකාවේ මැදිහත්වීමෙන් සාම ක්‍රියාවලියක් මගින් අවසානයක් දකින තුරු වසර හතරක් පැවති බෝනියානු යුද්ධයේ දී අවම වශයෙන් පුද්ගලයන් ලක්ෂයක් වත් ජීවිතක්ෂයට පත් විය.