MH370 යානයේ කොටස් හමු වූ බවට දැඩි විශ්වාසයක්

Image copyright Reuters
Image caption දකුණු අප්‍රිකානු විදේශිකයෙකු පසුගිය දෙසැම්බරයේ මොසැම්බික් වෙරළේ දී සොයා ගත් තවත් ගුවන් යානා කොටසක්

මොසැම්බික් හිදී සොයා ගනු ලැබූ ගුවන් යානා කොටස් දෙක 2014 වසරේ අතුරුදහන් වූ මැලේසියන් ගුවන් සමාගමට අයත් MH370 යානයට අයත් බව දැඩි ලෙස විශ්වාස කළ හැකි බව ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ ප්‍රවාහන අමාත්‍යවරු පවසයි.

කඩා වැටුණු ගුවන් යානා කොටස් දෙකක් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු විසින් අවස්ථා දෙකකදී සොයා ගනු ලැබුණු අතර පසුව එම කොටස් වල අනන්‍යතාව හෙළි කර ගැනීමේ වැඩි දුර පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියාවට යවනු ලැබීය.

2014 වසරේ මාර්තු මාසයේ බේජිං බලා පියාසර කරමින් තිබිය දී මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය අබිරහස් ලෙස අතුරුදහන් වූයේ එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 239 දෙනෙකු සමගයි.

Image copyright AFP

තවමත් නිසි ලෙස අනාවරණය නොවූ යම් හේතුවක් නිසා ක්වාලාලම්පූර් ගුවන් තොටුපළෙන් පිටත් වූ යානය සම්පුර්ණයෙන්ම සංඥා පද්ධතිය සමග තිබූ සම්බන්ධතාව බිද වැටුණි.

පසුව චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් කරුණු වලින් හෙළි වූයේ දකුණු ඉන්දියන් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය අතුරුදහන් වී ඇති බවයි.

ගුවන්යානයට සහ එහි ගමන් ගත් මගීන්ට අත්වූ ඉරණම කුමක්දැයි අදටත් අභිරහසක්ව පවතින අතර මෙම අනතුර ගුවන් ගමන් ඉතිහාසයේ නොවිසඳුණු අනතුරු අතරට එක්ව තිබේ.

මුහුදු පතුලේ සෝදිසි මෙහෙයුම්

Image copyright Reuters

මොසැම්බික් රාජ්‍යයේ මුහුදු වෙරළේ වැලි පරයක තිබී පළමු ගුවන් යානා කොටස පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ගවේෂකයෙකුට හමු වූ අතර පසුව දකුණු අප්‍රිකානු විදේශිකයෙකු පසුගිය දෙසැම්බරයේ එම වෙරළේ දීම සොයා ගත් තවත් ගුවන් යානා කොටසක් බලධාරීන්ට ලබා දීමට ඉදිරිපත් විය.

තවමත් යානය අතුරුදහන් වූ කලාපයේ මුහුදු පතුලේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ දකුණු ඉන්දියන් සාගරයේ වර්ග කිලෝමීටර් විසිපන්දහසක ප්‍රදේශයක් සෝදිසි කිරීමට බලාපොරොත්තු වන බවයි. ඊට අමතරව මොසැම්බික් වෙරළෙන් හමුවූ යානා කොටස් දෙක මුල් කර ගනිමින් මොසැම්බික් මුහුදු කලාපයේ සහ වෙරළේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට එරට බලධාරීන්ගෙන් අනුමැතිය ලැබෙන තුරු බලා සිටින බවයි මැලේසියාව පවසන්නේ.