චොක්ලට් රසයි! ඒත් ගුණද?

පවිත්‍රා පෙරේරා

බීබීසි සිංහල

Image copyright PIXABAY

චොක්ලට් ලොකු කුඩා භේදයක් නොමැතිව සෑම දෙනා අතරම ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාමත් රසවත් ආහාරයක්.

බොහෝ විට චොක්ලට් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුඩා දරුවන්ට ලබා දෙන තෑග්ගක්, හොඳ හැසිරීමට ලබා දෙන අල්ලසක් නැත්නම් තරුණියන්ට ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහටයි.

කෙසේ වෙතත් විවාදයකින් තොරව පිළිගන්නා කරුණක් වන්නේ අපි කවුරුත් ආශා කරන පැණිරස ආහාරය චොක්ලට් වීමයි.

නමුත් චොක්ලට් ආහාරයට ගැනීම අපේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? සාමාන්‍ය සමාජ මතයේ හැටියට ඇත්තටම චොක්ලට් සෞඛ්‍යට හානිකරයිද?

Image copyright Thinkstock
Image caption කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොකලට්(dark chocolate)

ඇතැම් පෝෂනවේදීන් පෙන්වා දෙන්නේ අධි රුධිර පීඩනය අවම කර ගැනීම, හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි කිරීම මෙන්ම හෘදයාබාධ වලක්වා ගැනීමටත් කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොක්ලට්(dark chocolate) දිනපතා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බවයි.

ඔබ ආශා කරන වර්ගයේ චොක්ලට් පෙත්තක් ආහාරයට ගැනීම තුලින් සැබවින්ම ඔබේ සෞඛ්‍යට අත් වන බලපෑම කුමක්දැයි විමසා බැලීමට ගත් උත්සාහයකි මේ.

චොක්ලට් වර්ග ගැන දැන ගැනීම වැදගත්ද?

2001 වසරේ භෞතිකවිද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් රොයිටර් පුවත් සේවය අමතමින් කියා සිටියේ සිය සාර්ථකත්වයේ රහස වන්නේ තමන් විශාල වශයෙන් චොක්ලට් ආහාරයට ගැනීම බවයි.

Image copyright Thinkstock

“පෞද්ගලිකව මගේ මතය තමයි සාමාන්‍ය චොක්ලට් (milk chocolate) කෑම මෝඩකමක්, කන්න ඕනේ කොකෝවා ප්‍රතිශතය වැඩි කළු චොකලට්.චොක්ලට් හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍යයක් වන කොකෝවා වල තිබෙන පෝෂණ ගුණ වලින් තමයි චොක්ලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි නිර්මාණය වෙන්නේ. නමුත් කොකෝවා තනිව අමුද්‍රව්‍යයක් ලෙස ගත්තහම ඉතාමත් තිත්ත තද කහට රහක් තියෙන සංඝටක වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි චොක්ලට් හදනකොට කොකෝවා වල තියෙන ඒ තිත්ත රස අඩු කරන්න ගොඩක් සීනියි කිරියි මිශ්‍ර කරන්නේ.” එරික් කෝනෙල් සිය මතය පැහැදිළි කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ චොක්ලට් ශරීර සෞඛ්‍යට අහිතකර බව පවසන පිරිස් වල චෝදනා එල්ල විය යුත්තේ සාමාන්‍ය චොක්ලට් සෑදීමට යොදා ගන්නා එම අධික සීනි සහ කිරි ප්‍රමාණයට බවයි.

Image copyright Antica Dolceria Bonajuto

චොක්ලට් වර්ගයක් තෝරා ගැනීමේදී එහි කොකෝවා, සීනි සහ කිරි වල සංයුතිය කෙරෙහි අවධානය යොමු කරමින් කොකෝවා ප්‍රතිශතය ඉතා ඉහළ කළු චොක්ලට් තෝරා ගැනීම තුලින් චොක්ලට් ආහාරයෙන් ලැබෙන වාසි අත් කර ගත හැකි බවයි චොක්ලට් ලෝලීන්ට අවවාදයක් ලබා දෙමින් එරික් කෝනෙල් කියා සිටියේ.

චොක්ලට් වලට ආදේශක තිබේද?

කොකෝවා තුල අඩංගු වන උත්තේජක සංඝටක නීත්‍යනුකූල ඖෂධ සහ නීති විරෝධී ඇතැම් මත් ද්‍රව්‍ය වල අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

Image copyright AP

චොක්ලට් යොදා ගෙන ආහාර සැකසීම සහ නව චොක්ලට් වට්ටෝරු නිර්මාණයේ නම් දැරූ පුද්ගලයෙකු වන ඩොමිනික් පර්සෝන් විසින් 2007 වසරේ චොක්ලට් වල මෙම උත්තේජන ගුණාංගය ඉස්මතු කරමින් වියලි කොකෝවා පිටි යොදා ගෙන මත්ද්‍රව්‍යකට සමාන ආහාරයක් නිපදවීමටද සමත් විය.

කෝපි ඇට, අබිං, මත්පැන් සහ ගංජා වල කොකෝවා වලට සමාන උත්තේජක සංඝටක අන්තර්ගත වන බව පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණකි.

චොක්ලට් මතක ශක්තිය වැඩි කරයිද?

පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් මෑතකදී සිදු කරනු ලැබූ අධ්‍යනයකින් හෙළි වී තිබෙන්නේ ඕනෑම වර්ගයක චොක්ලට් ආහාරයට ගැනීම සහ මතක ශක්තිය වර්ධනය වීම අතර සමීප සම්බන්ධතාවක් පවතින බවයි.

මෙම අධ්‍යනය චොක්ලට් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් යම් සුභවාදී ආකල්පයක් ඇතිකලද පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගේ මතක ශක්තිය වැඩි වීමට සෘජුවම බලපෑ ඇත්තේ චොක්ලට් පමණක් බව ඔප්පු කර පෙන්වීමට අධ්‍යනය මෙහෙයවූ කණ්ඩායම සමත් වී නැත.

Image copyright Thinkstock

ඊට අමතරව වයස අවුරුදු පනහත් හැට නමයත් අතර වයසේ සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමට කොකෝවා සහ චොක්ලට් උපකාරී වන බවට තවත් අධ්‍යනයක් කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම අධ්‍යනයන් දෙකෙන්ම අනාවරණය වී ඇති දත්ත සලකා බලන විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි කාලයේ දී මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමේ උපායක් ලෙසත් ශරීරයේ ලේ ගමනාගමනයට උපකාරී වන ආහාරයක් ලෙසත් චොක්ලට් හඳුන්වා දීමේ ඉඩකඩක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙවැනි සෞඛ්‍යට හිතකර වාසි අත් කර ගැනීමට ආහාරයට ගත යුතු චොක්ලට් ප්‍රමාණයක් හෝ වර්ගයක් පිළිබඳ තවමත් නිසි තොරතුරු හෙළි වී නැත.