සිරියානු හමුදාවෝ පැල්මයිරා නගරය මුදා ගනිති

Image caption හමුදාව පවසන ආකාරයට දැන් මුළු නගරයම ඔවුන් විසින් අත්පත් කර ගනු ලැබ තිබේ

සිරියානු රජයේ හමුදාවන් විසින් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් ගේ පාලනයේ පැවති ඓතිහාසික පැල්මයිරා නගරය මුදා ගත් බව රජයේ මාධ්‍ය සහ නිරීක්ෂක කණ්ඩායම් පවසති.

රුසියානු ගුවන් ප්‍රහාර වල සහයෝගයෙන් නගරයේ ඇතැම් කොටස් වෙත දින කිහිපයකට පෙර සිට ලඟා වී සිටියද හමුදාව පවසන ආකාරයට දැන් මුළු නගරයම ඔවුන් විසින් අත්පත් කර ගනු ලැබ තිබේ.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම, ‘ලෝක උරුමයක්’ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබ ඇති පැල්මයිරා නගරය සිය පාලනය යටතට ගනු ලැබුවෙ 2015 වසරේ දීය.

Image caption වසර දෙදහසකට වඩා පැරණි ගොඩනැගිලි වලින් සමන්විත පැල්මයිරා නගරය UNESCO සංවිධානය මගින් ප්‍රකාශිත ලෝක උරුමයකි

සිරියාවේ මානව හිමිකම් පිලිබඳ බ්‍රිතාන්‍යය පදනම් කොටගෙන ඇති නිරීක්ෂක කණ්ඩායම පැවසුවේ නගරයේ නගෙනහිර කොටසේ තවමත් වෙඩිහඬ ඇසුනද IS සන්නද්ධ කරුවන් විශාල කණ්ඩායම් වශයෙන් ඈත නැගෙනහිර ප්‍රදේශ වලට පලවාහැර ඇති බවයි.

සෙනසුරාදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ IS සටන්කරුවන් සිටින ස්ථාන 158 කට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් සියයකට වැඩි සන්නද්ධකරුවන් පිරිසක් මරා දැමුණු බවයි.

ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවන් විසින් විනාශ කර දැමූ පැල්මයිරා නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන අතර වසර දෙදහසක් පැරණි දේවස්ථාන දෙකක්, ඉපැරණි ආරුක්කු සහ සොහොන් කොත් කණු දෙකක් ද නටබුන් බවට පත් වී තිබුණි.

ඉස්ලාම් ආගම පැතිරීමට පෙර පටන් යාබද ඉරාකයේ තිබූ බොහෝ ස්මාරක ද මෙම ජිහාඩ්වාදීන් විසින් විනාශ කරනු ලැබිණි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර