කොල්කටා පාලම් අනතුර: මරණ සංඛ්‍යාව ඉහළට

Image copyright AP

කොල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දහ අට දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් පුද්ගලයන් හැට දෙනෙකු පමණ දැඩි තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව එක්ව මේ වන විට සුන්බුන් වලට යටවූවන් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියි.

අති විශාල වෙළඳපොළක් අසළ ජනතාව විශාල වශයෙන් ගැවසෙන දහවල් කාලයේ දී කඩා වැටුණු මේ පාලමේ සුන් බුන් යට එකසිය පනහකට අධික පිරිසක් තවමත් සිරව සිටින බවටයි වාර්තාවල සඳහන් වන්නේ.

Image copyright db

සිදුවීම ඇසින් දුටුවෙකු අදහස් දක්වමින් කියා සිටියේ අනතුර සිදු වූ අවස්ථාවේ පාලම යට මිනිසුන් විශාල ප්‍රමාණයක් ගැවසෙමින් සිටි අතර රික්ෂෝ රථ සහ කුලී රථ ගණනාවක් ම ගාල් කර තිබූ බවයි.

මොහොතකින් ඒ සියල්ල යට කරමින් පාලම කඩා වැටෙනු තමන් දුටු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

කොන්ක්‍රීට් තට්ටුව සහ යකඩ කපා ඔවුන් බේරා ගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.