'දකුණු ආසියානු ළමා ජාවාරමක්' බ්‍රිතාන්‍යයේ අවධානය

Image caption බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු බාර ඇමතිනී තෙරේසා මේ

දකුණු ආසියානු රටවල දරුවන් නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට සහ වෙනත් රටවලට රැගෙන එන බව පැවසෙන ගවේෂණාත්මක පුවත්පත් වාර්තාවකින් තමා කැලඹීමට පත් වූ බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු බාර ඇමතිනී තෙරේසා මේ(May) පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා බ්‍රිතාන්‍ය 'සන්' පුවත්පත විසින් සොයා ගනු ලැබ ඇති කරුණු පොලිසියට ලබා දෙන ලෙස ඇමතිවරිය එම පුවත් ආයතනයෙන් ඉල්ලා සිටියාය.

අවුරුදු දහයක් තරම් ලාබාල වියේ පසු වන දරුවන් පවා බ්‍රිතාන්‍ය පවුල් වෙත විකිණීමේ වැඩ පිළිවෙලක් ඇති බවයි 'සන්' පුවත්පත අනාවරණය කරන්නේ.

නේපාලයේ සහ ඉන්දියාවේ දුගී ප්‍රාන්තවලට අයත් බව පැවසෙන එම දරුවන් වැටුප් ගෙවීමකින් තොරව ගෘහ සේවයේ යොදා ගැනීම සඳහා ගෙන එන බවයි 'සන්'වාර්තාවේ දැක්වෙන්නේ.