ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාප් වහන්සේ 'පවුලේ ආදරය වෙනුවෙන්'

නවීන පන්නයේ ජීවන රටාව සහ ඒ තුළ පවතින සැබෑ අවශ්‍යතා හරි ආකාරයට තේරුම් ගනිමින් පවුල් ජීවිතයට සහයෝගයක් ලබා දීමට කතෝලික පල්ලියට උපදෙස් ලබා දෙන ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පියවර ගෙන ඇත.

දේවගැතිවරුන්ගේ මණ්ඩල දෙකක් පදනම් කර ගෙනයි මෙම උපදේශන ලේඛනය සැකසීම සිදු කර තිබෙන්නේ.

ලෝකය පුරා කෝටි එකසිය තිහක් වන රෝමානු කතෝලික බැතිමතුන් ඉතා උනන්දුවෙන් බලා සිටි අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි පැවසෙන්නේ.

උපදේශන ලේඛනය නම් කර ඇත්තේ ‘on love in the family’ නැතහොත් ‘පවුලේ ආදරය වෙනුවෙන්’ යන නමින්.

Image copyright Reuters

මෙමගින් කතෝලික දහමේ මූලික ඉගැන්වීම් වල කිසිදු වෙනසක් සිදු කර නැති නමුත් විවිධ රටවල රදගුරුහිමිවරුන්ට සිය රටේ සංස්කෘතියට ගැළපෙන ආකාරයෙන් මෙම උපදෙස් නිර්වචනය කිරීමට අවස්ථාව සැලසෙයි.

පවුල් ජීවිතය, විවාහය, උපත් පාලනය සහ දරුවන් ලොකු මහත් කිරීම වැනි ගිහි ජීවිතයේ වැදගත් කරුණු සම්බන්ධයෙන් පාප් වහන්සේ දරන ආකල්ප මෙම ලේඛනයෙන් විස්තර කෙරෙයි.

දේශීය සංස්කෘතියට අනුව

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වසර තුනක කාලයක් මුළුල්ලේ සම්පාදනය කරනු ලැබ ඇති මෙම උපදේශන ලේඛනය ලොව වටා කතෝලික පවුල් වලින් අසන ලද ප්‍රශ්න වලට ලද පිළිතුරු සහ ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න විමසා බැලීමකට පසුවයි ලේඛන ගත කොට තිබෙන්නේ.

ලේඛනය සැකසීම සඳහා ලොව පුරා කාදිනල්වරු සහ රදගුරු හිමිවරුන් රෝමයට කැඳවා ඔවුන් දේවගැති සභා දෙකකට අනුයුක්ත කරන ලද අතර විවිධ විෂයය කරුණු ඔස්සේ වාද විවාද පවා පැවැත්වීමට අවසර ලබා දී ඇත.

Image copyright Getty

මෙහිදී විවාදයට තුඩු දුන් විෂයයන් අතර සමලිංගික කතෝලිකයන්ට සලකන ආකාරය, උපත් පාලනය, දික්කසාද වී නැවත විවාහ වීම වැනි කරුණු දැඩි මතභේදයකට තුඩු දී තිබේ.

බීබීසි සමග කතා කිරීමට එකතු වූ පිලිපීනය, බ්‍රසීලය, අයර්ලන්තය සහ ගානා යන රටවල් වල ජීවත් වන කතෝලික පවුල් කිහිපයක් කියා සිටියේ පල්ලිය පවුල් ජීවිතයට විශාල සහයක් ලබා දීමට නම් ඇතැම් අදහස් වෙනස් විය යුතුව පවතින බවයි.

මධ්‍යස්ථව කටයුතු කිරීම

ගනා හි ගුරුවරයෙක් ලෙස දිවි ගෙවන කතෝලිකයෙකු වූ 'ලුවිස් ඩියෝ' කියා සිටියේ මෙතෝදිස්ත සභාවේ ආගමිකයෙකු වූ සිය බිරිය විවාහ කර ගැනීමේදී තමන්ට කතෝලික ආගමට ගරු කරමින් පල්ලියේ විවාහය සිදු කර ගැනීමට කතෝලික පල්ලියෙන් විශේෂ අවසරයක් ලැබෙන තෙක් වසර දහයක් බලා සිටීමට සිදු වූ බවයි.

Image copyright EPA

පවතින කතෝලික පල්ලියේ ආකල්පයට එකඟ නොවන කතෝලික පවුල් වලට මෙමගින් යම් සහනයක් ලැබෙතැයි ලිබරල්වාදී කතෝලිකයන් බලාපොරොත්තු විය.

නමුත් ගතානුගතිකවාදීන් තවමත් කියා සිටින්නේ ජේසුස් වහන්සේ විසින් විවාහය සම්බන්ධයෙන් පිහිටුවනු ලැබූ කල් පවත්නා දැඩි මුලධර්ම මෙම නව උපදෙස් ලේඛනයෙන් අවප්‍රමාණය වන බවයි.

කෙසේ වෙතත් මෙම නව උපදෙස් ලේඛනය සැකසීමේ කාර්යයේදී ගතානුගතිකවාදී කතෝලිකයන් සහ ආගමට රැඩිකල්වාදී වෙනසක් එකතු වේ යැයි බලාපොරොත්තු වන කතෝලිකයන් අතර මැද සිටිමින් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතා මධ්‍යස්ථව කටයුතු කිරීමට සමත් වී ඇති බවයි රෝමයේ බීබීසි වාර්තාකරුවන් පවසන්නේ.