'හමුදා කඳවුරු වලට අපිත් යනවා'- රාජිත
විපක්ෂනායක ආර් සම්බන්ධන් හමුදා කඳවුරකට යෑම ජාතික ආරක්ෂාව පිලිබඳ විශාල ප්‍රශ්නයක් ලෙස හුවා දැක්විය යුතු නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ඔහු ඒ බව පැවසුවේ මාධ්‍ය හමුවක දී ඒ පිලිබඳ අදහස් දක්වමින්.
"සමහර විට එයා යනගමන් කිලිනොච්චියට යන්න ඇති. ගියාම ඒක හරියට මේ ප්‍රභාකරන් ගියා වගේ කියල හිතන්න එපා. ඒ මනුස්සයත් එහෙන් බැනුම් අහනව ඇතිවෙනකම් 'මොඩරේට්' වෙන්න ගිහිල්ල. මොකද මේ දෙමළ මිනිහෙක් ගියයි කියන එකද මේ ප්‍රශ්නෙ තියෙන්නෙ?. අපේ ඇමතිවරුනුත් ඕනෑතරම් ගිහිං තියනව" යනුවෙනුයි ඔහු පැවසුවේ.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ මැති ඇමතිවරුන්ට එම ප්‍රදේශවල හමුදා කඳවුරු හැරෙන්නට නවාතැන් ගැනීමට වෙනත් ස්ථාන නොතිබුණු බවයි සිහිපත් කළේ.
මෙම මධ්‍ය හමුවට එක්වෙමින් යුදහමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසුවේ කිලිනොච්චි ආඥාපතිවරයා විසින් උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් කතාකොට තිබුණේ මෙවැනි අවස්ථාවන් වලදී අනුගමනය කල යුතු සුදුසු වැඩපිළිවෙලවල් ගැන කතා කිරීමට මිස එය පැමිණිලි කිරීමක් නොවුණු බවයි.
"කිසිම පොලිස්ථානයක යුදහමුදාව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ මේ සම්බන්ධයෙන්. එය විශේෂයෙන් නිවරදිවිය යුතුයි ඒ අකාරයෙන්" යනුවෙනුයි බ්‍රිගේඩියර් ජයනාත් පැවසුවේ.